2021 අප්‍රේල් 24 වන සෙනසුරාදා

ස්පේස්-එක්ස් යානය 3 වැනි වරටත් උඩු ගුවනට

 2021 අප්‍රේල් 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 89

ස්පේස්-එක්ස් ආයතනයට අයත් කෲ-ඩ්‍රැගන් “එන්ඩීවර්”-Crew Dragon “Endeavour”, යානය තුන්වැනි වරටත් උඩුගුවනට සාර්ථක ලෙස පිටත්ව ගියේය.

කර්මාන්තය වාණිජ අභ්‍යවකාශ සංචාරක මෙහෙයුම් අතර තුන්වැනි ගමන ලෙස  මෙය හැඳින්විය හැකිය. අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය - ISS, වෙත සාර්ථක ලෙස  පිටත්ව ගිය මෙම  කෲ-ඩ්‍රැගන් “එන්ඩීවර් “, යානය මෙවර අභ්‍යවකාශගාමීන් 4 දෙනකු රැගෙන යාමට කටයුතු කර තිබුණි. මේ තුන්වැනි ගමන ගියේ නාසා අභ්‍යවකාශගාමීන් වන ෂේන් කිම්බ්‍රෝ සහ මෙගන් මැක්ආතර් සමඟ ජපාන අභ්‍යවකාශ ඒජන්සියේ අකීහිකෝ හොෂිඩේ සහ යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියේ තෝමස් පෙස්ක්‍යුට් යන හතර දෙනාය. “පෘථිවි දිනය”- Earth Day, හැටියට අන්තර්ජාතිකව නම්කර ඇති අප්‍රේල් 22දා යන්නට සැලසුම් කර තිබූ මේ ගමන කාලගුණ අවහිරතා නිසා ඔවුන් පිටත්ව ගියේ 23දාය.

පසුගිය වසරේ 2020 මැයි 30 අභ්‍යවකාශගාමීන් දෙදෙනකු රැගෙන ස්පේස්-එක්ස් ආයතනයට අයත් කෲ-ඩ්‍රැගන් මුල්ම ගමන පිටත්ව ගියේය. ඉන්පසු ඒ වසරේම නොවැම්බර් 16දා ගිය දෙවැනි ගමන වගේම ඊයේ - පෙරේදා ගිය මේ තුන්වැනි ගමනෙදීත්  අභ්‍යවකාශගාමීන් 4 දෙනකු අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන යන්නට ඒ මුල් යානයම සමත් වී තිබේ. මිනිස් ඉතිහාසයේ මේ සුවීශේෂී ප්‍රයත්නයට අඩිතාලම දැමුවේ නාසා ආයතනය සහ ස්පේස්-එක්ස් ආයතන දෙක එකමුතු වීමෙනි. යානය මේ ගමන නික්ම ගියේ නාසා ආයතනයට අයත් කෙනඩි අභ්‍යවකාශ තොටුපොළෙනි.

කෲ-ඩ්‍රැගන්, යානයේ මුල්ම අභ්‍යවකාශ ගමනට 2020 දී පිටත්ව ගියේ නාසා ආයතනයේ බොබ් බෙන්කන් සහ ඩග් හර්ලි කියන අභ්‍යවකාශගාමීන් දෙදෙනාය. මැයි 30 ගිය ඒ දෙදෙනා අගෝස්තු 02 නිරුපද්‍රිතව මහ පොළොවට පැමිණියහ. නොවැම්බරයේ ගිය දෙවැනි ගමනට නාසා හි මයික් හොප්කින්ස්, වික්ටර් ග්ලෝවර් සහ ෂැනොන් වොල්කර් සමඟ ජපාන අභ්‍යවකාශ ඒජන්සියේ සොෂී නොගුචී පිටත්ව ගියහ.