
චීනයේ බෙයිජින් නුවර 2022 පෙබරවාරි 04 දින සිට පැවැත්වීමට නියමිත ශීත ඔලිම්පික් තරගාවලිය වර්ජනය කිරීමට අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් පෙළගැසී සිටී. රුසියාවේ 1980 වසරේදී පැවැත්වූ ග්‍රීෂ්ම ඔලිම්පික් තරගාවලිය වර්ජනය කළ ආකාරයට අමෙරිකාව ප්‍රමුඛ මිත්‍ර පාක්ෂික රටවල් විසින් ශීත ඔලිම්පික් තරගාවලියද වර්ජනය කිරීමට තීරණය කළ බව එරට රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක නෙඩ් ප්‍රයිස් ප්‍රකාශ කර තිබුණි. පසුව එම ප්‍රකාශය හකුලා ගනිමින් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ ඔවුන් හෝ ඔවුන්ගේ මිත්‍ර පාක්ෂික රටවල් එවැන්නක් සාකච්ඡා නොකළ අතර එවැනි තීන්දුවක් ගෙන නොමැති බවයි. දැනටමත් ෆ්ලොරිඩාවේ නියෝජිතයා මෙම වර්ජනයට පක්ෂග්‍රාහීව කටයුතු කරන අතර කැනඩාවේ ද චීන ඔලිම්පික් විරෝධය උත්සන්න කරමින් පවතී.
කෙසේ වුවද නෙඩ් ප්‍රයිස්ගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් චීනය ප්‍රකාශ කර තිබුණේ ක්‍රීඩාව දේශපාලනීකරණය කිරීමට දරණ උත්සාහයට එරෙහිව ඔවුන් දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නා බවය. ලෝක බලවතා බවට පත්වීමේ චීන - අමෙරිකා ගැටුම අන්තර්ජාතික මට්ටමේ තරගාවලියක් දක්වා ඇදී ගිය ආකාරය මෙයින් පිළිබිඹු වෙයි.
ක්‍රීඩාව දේශපාලනීකරණය කිරීම ලොව පුරා සිටින මළල ක්‍රීඩක, ක්‍රීඩිකාවන් අධෛර්යමත් කරනවා මෙන්ම එය ඔලිම්පික් ප්‍රකාශනය හෑල්ලුවට ලක් කිරීමක් බවත් ජාත්‍යන්තර ප්‍රජාව මෙන්ම අමෙරිකානු ඔලිම්පික් කමිටුව පවා එය හෙළා දකිනු ඇති බවත් චීන විදේශ ප්‍රතිපත්ති ප්‍රකාශක සාඕ ලිජියෑන් මේ සම්බන්ධව කියා තිබුණි.
වයඹදිග චීනයේ සින්ජියෑන් ප්‍රාන්තයේ උයිගර් මුස්ලිම්වරුන්ගේ මානව හිමිකම් චීනය විසින් උල්ලංඝණය කරනවා යැයි නිරන්තර චෝදනා අමෙරිකාව විසින් චීනයට එල්ල කරන අතර එම චෝදනා ප්‍රතික්ෂේප කරන චීනය ප්‍රකාශ කරන්නේ අන්තවාදී ආගමික ඉගැන්වීම්වලින් මුදවා ගැනීම සඳහා ඔවුන්ට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩසටහන් හඳුන්වා දෙමින් පවතින බවයි.
ශීත සහ ග්‍රීෂ්ම ඔලිම්පික් තරගාවලියන් දෙකම පැවැත්වූ ප්‍රථම රට බවට පත්වීමට නියමිත චීනයට බයිඩ්න් පාලනයෙන් පවා සිදු කරන මෙම කෙණහිලිකම් දෙරට අතර විරසකයන් තව තවත් වැඩිවීමට හේතුවනු ඇත.