
නවතම මිලාධික ඔත්තුසේවා මෘදුකාංගයක් ලොව පුරා ආන්දෝලනයක් මතුකර තිබේ. පෙගාසස් (PEGASUS) නම් වූ මේ ඔත්තුසේවා මෘදුකාංගය ඊශ්‍රායල මෘදුකාංග සහ තාක්ෂණික කණ්ඩායමක් වන එන්.එස්.ඕ. නම් ඔත්තුසේවා සපයන සමාගමක් විසින් නිර්මාණය කරන ලද්දකි.
මෙම ඔත්තු බැලීමේ මෘදුකාංගය ජංගම දුරකතනවල ස්ථාපනය කිරීමෙන් එයට ලැබෙන හා ඒ මගින් යවන කෙටි පණිවිඩ කියවීම, ඇමතුම් විස්තර ලබාගැනීම, මුරපද ලබාගැනීම, ජංගම දුරකතන තිබෙන තැන පිළිබඳ විස්තර ලබාගැනීම, ඉලක්කගත උපාංගයේ මයික්‍රොෆෝනය සහ කැමරාව වෙත ප්‍රවේශ වීම, ලිපිගොනු, ඡායාරූප සහ ඊමේල් සහ යෙදුම්වල ඇති තොරතුරු රැස්කිරීමේ හැකියාව ලැබෙන බව තාක්ෂණවේදීහු පවසති. එය ඇපල් ජංගම දුරකතනවල මෙහෙයුම් පද්ධතිය වන iOS හි ඇතැම් අනුවාදයන් හි ධාවනය කරන උපාංගවල මෙන්ම ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ධාවනය වන උපාංගවලද ස්ථාපනය කළ හැකි බව විශේෂඥයෝ සඳහන් කරති.
මෙම මෘදුකාංගය ජංගම දුරකතනයක් තුළ ස්ථාපනය කිරීම සඳහා අදාළ ජංගම දුරකතනයට වට්ස්-ඇප් ඇමතුමක්, කෙටි පණිවුඩයක් හෝ ඊමේල් පණිවුඩයක් යැවීමෙන් අදාළ දුරකතනයේ දත්ත අනාරක්ෂිත තත්ත්වයට පත් කළ හැකි වේ. එම පණිවුඩය විවෘත කළ මොහොතේ සිටම අදාළ ජංගම දුරකතනයේ දත්ත අනාරක්ෂිත තත්ත්වයට පත් වේ. ‘පෙගාසස්’ මෘදුකාංගය ජංගම දුරකතනයක ස්ථාපිත වූ විට එයින් ඉවත් වීමට ඇති එකම ක්‍රමය, අදාළ ජංගම දුරකතනය භාවිතයෙන් ඉවත් කිරීම හෝ එය විනාශ කිරීම පමණකි. අලුතින් ජංගම දුරකතනයක් භාවිත කරන්නට පටන්ගත් විටද, මින් පෙර භාවිත කළ ගූගල්, වට්ස්-ඇප් සහ ෆේස්බුක් ගිණුම් ඔස්සේ නව දුරකතනය ද ආක්‍රමණය කිරීමේ හැකියාව මෙම මෘදුකාංගය සතුය
මානව හිමිකම් ක්‍රියාකාරිකයකුට අයත් අයිෆෝන් දුරකතනයක් මත එය ස්ථාපනය කිරීමට ගත් අසාර්ථක උත්සාහයකින් පසු 2016 අගෝස්තු මාසයේදී මෙම මෘදුකාංගය පිළිබඳව ලොවට අනාවරණය වූ අතර ඉන් පසුව කරන ලද පරීක්ෂණයකින් මෙම ඔත්තු බැලීමේ මෘදුකාංගයේ විස්තර, එහි හැකියාවන් සහ එය අනතුරට භාජනය විය හැකි ආරක්ෂක දුර්වලතා පිළිබඳ තොරතුරු අනාවරණය විය. මෙම මෘදුකාංගය උපයෝගී කරගෙන ‘වොෂිංටන් පොස්ට්’ පුවත්පතට ලිපි සැපයූ ජමාල් කශෝගි නම් සෞදි අරාබි ජනමාධ්‍යවේදියාගේ තොරතුරු එක්රැස් කළ බවටත් පසුගියදා චෝදනා එල්ල විණි.