2021 අප්‍රේල් 03 වන සෙනසුරාදා

මාධ්‍යවේදිනියට වන්දි ගෙවූ තාත්තයි - පුතයි!

 2021 අප්‍රේල් 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 140

මාධ්‍යවේදිනියකට ඇයගේ ආත්ම ගෞරවය කෙලෙසෙන ආකාරයේ ප්‍රකාශයක් සිදුකිරීමේ වරදට ඇයට වන්දි ගෙවන ලෙස බ්‍රසීලයේ ජනාධිපති ජායිර් බොල්සොනාරෝ වෙත එරට අධිකරණයක් නියෝග කර ඇත. පැට්‍රිෂියා මෙලෝ, බ්‍රසීලයේ සම්මානලාභී මාධ්‍යවේදිනියකි. ජනාධිපති බොල්සොනාරෝ  හට බ්‍රසීල මුදලින් (රියල්) 20,000ක් (ඇමරිකානු ඩොලර් 3,500ක්) ගෙවන ලෙස නියම කර ඇත්තේ ඇයටය.

තමන් පිළිබඳ සෘණාත්මක තොරතුරු ලබාගැනීම සඳහා පැට්‍රිෂියා කැම්පෝස් මෙලෝ නමැති මාධ්‍යවේදිනිය එක්තරා සම්පත්දායකයෙකු සමඟ ලිංගිකව එක්වී ඇති බව අඟවමින් ජනාධිපතිවරයා පසුගිය වසරේ ප්‍රකාශයක් කර තිබුණි. අධිකරණ විනිසුරුවරයා පවසා ඇත්තේ එම ප්‍රකාශය මගින් මාධ්‍යවේදිනියගේ ගෞරවයට හානිවී ඇති බවය. මාධ්‍යවේදිනියට ඊට වන්දි වශයෙන් ඉහත මුදල ගෙවන ලෙස ජනාධිපතිවරයාට නියෝග කර තිබේ.  

2019 ජනවාරි මාසයේදී බලයට පත්වූ බොල්සොනාරෝ, දක්ෂිණාංශික ජනාධිපතිවරයෙකි. තමන්ගේ පාලනය විවේචනයට ලක්කරන මාධ්‍යවේදීන් වෙත එදිරිවාදිකම් සිදුකරන ඉතිහාසයක් ඔහු සතුය. ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට එරෙහිව ඉහත කී මාධ්‍යවේදිනිය නීතිය ඉදිරියට ගියේ 2020 වසරේ පෙබරවාරියේදීය. පසුගිය ජනවාරියේදී මෙම මාධ්‍යවේදිනිය මෙවැනිම වූ තවත් නඩු විභාගයකින් ජය ලැබුවාය. එම නඩුව ගොනුකර තිබුණේ ජනාධිපති බොල්සොනාරෝගේ පුත්‍රයාට එරෙහිවය. ඔහු බ්‍රසීලයේ පහළ මන්ත්‍රී මණ්ඩලය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකි.

පසුගිය වසරේ මැයි මාසයේ යූටියුබ් ඔස්සේ පළකර තිබුණු වීඩියෝවක ඔහු අඟවා තිබුණේ, තම පියාට එරෙහිව තොරතුරු ලබාගැනීම සඳහා මෙම මාධ්‍යවේදිනිය විසින් එක්තරා පුද්ගලයෙකු ලිංගිකව ආකර්ෂණය කර ගැනීමට උත්සාහ කරනු ලැබ ඇති බවය. එම ප්‍රකාශය මාධ්‍යවේදීන්ගේ ගෞරවයට කරන ලද ප්‍රහාරයක් බව විනිසුරුවරයා පැවසීය. ඊට වන්දි වශයෙන් රියල් 30,000ක් එම මාධ්‍යවේදිනියට ගෙවන ලෙස ජනපති පුතුට අධිකරණය නියෝගයක් නිකුත් විය.

මේ වනවිට සිය ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් තිදෙනාම ඉවත්වීමෙන් පසු බ්‍රසීලයේ ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ සිය ජනාධිපති ධුරයේ විශාලතම අර්බුදයට මුහුණ දී සිටියි. කොවිඩ් -19 ට දැක්වූ ඍණාත්මක ප්‍රතිචාරය නිසා ජනාධිපති බොල්සොනාරෝගේ ජනප්‍රියත්වය විශාල ලෙස අඩුවී තිබේ.

 

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:05