
එංගලන්ත බැංකුව විසින් ඉකුත් 25 වැනි දින පවුම් 50ක නෝට්ටුවක් මුද්‍රණය කර තිබේ. එහි ඇත්තේ අසාධාරණ තීන්දුවකට ලක්ව දිවි අහිමි වූ ලෝකයේ විශිෂ්ට විද්වතෙකු වූ ඇලන් ටියුරින්ගේ රුවයි. මෙම පවුම් 50 නෝට්ටුව මුද්‍රණය කර තිබෙන්නේ ටියුරින් කළ සේවය අනුස්මරණය කිරීමටය.
ගණිතඥයකු හා පරිගණක විද්‍යා පුරෝගාමියකු වූ ඇලන් ටියුරින් දෙවැනි ලෝක යුද්ධය ජය ගැනීමට මිත්‍ර පාක්ෂිකයින්හට අවශ්‍ය පරිගණක පද්ධතීන්හි යුද කේතයන් වෙනස් කොට ඉමහත් සේවයක් කළ රණවිරුවෙකි.
ඇලන් ටියුරින් උපත ලබන්නේ 1912 ජූනි 23 වැනි දිනය. ඔහු අධ්‍යාපනය ලැබුවේ කේම්බ්‍රිජ්හි ය. ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධියක් හැදෑරීමට වසර කිහිපයක් ගතකරන ටියුරින් නැවත කේම්බ්‍රිජ් වෙත ගොස් රජයේ නීති සංග්‍රහයට හා සයිෆර් පාසලට සම්බන්ධ විය.
දෙවැනි ලෝක සංග්‍රාමයේදී ටියුරින් සුප්‍රසිද්ධ බ්ලෙච්ලි උද්‍යානයේ සේවය කළ අතර, එහිදී රහස් සන්නිවේදනයන් සම්ප්‍රේශණය කිරීම සඳහා ජර්මානු නාවික හමුදාව විසින් භාවිතා කරන ලද එනිග්මා කේතය බිඳ දැමීමට සමත් විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් දෙවැනි ලෝක සංග්‍රාමයේ අවසානය වේගවත් කිරීමේ ගෞරවය ටියුරින් සහ ඔහුගේ සගයන්ට හිමිවිය.
යුද්ධයෙන් පසුව, ටියුරින් විසින් නවෝත්පාදන හා කෘත්‍රිම බුද්ධිය ගණනය කිරීම සඳහා අඛණ්ඩව කටයුතු කළේය. පරිගණකයක් කෘත්‍රිමව බුද්ධිමත් දැයි තීරණය කිරීම සඳහා 1950 දී ඔහු “ටියුරින් ටෙස්ට්” නම් පරීක්ෂාව යෝජනා කළේය. මෙය කෘත්‍රිම බුද්ධිය හෙවත් AI පිළිබඳ නූතන අවබෝධය තුළ වැදගත් වන පරීක්ෂණයකි.
මහා බ්‍රිතාන්‍යයේ එවකට සමලිංගික හැසිරීම් අපරාධ වරදක් කර තිබූ යුගයකි. ටියුරින් තවත් පිරිමියකු සමඟ ප්‍රේම සබඳතාවක් පැවැත්වූයේය යන චෝදනාව තුළ 1952 වර්ෂයේදී “තදබල අශෝභන ක්‍රියා” නම් වරදට ඔහු වරදකරු යැයි අධිකරණය විසින් තීන්දු කළේය. ඔහුට මාස 12ක හෝමෝන චිකිත්සාවක් ලබාදීම හෝ සිරදඬුවම් නියම කරන ලදී. අධිකරණ විනිශ්චය වූයේ පශ්චාත් යුධ සමයේ රජයේ නීති සංග්‍රහයේ සහ සයිෆර් පාසලේ රජයේ සන්නිවේදන මූලස්ථානයේ (GCHQ) වැඩ කිරීමට ඔහු නුසුදුසු බවයි.
1954 ජූනි 7 වැනි දින ටියුරින් සියදිවි නසා ගත්තේය. මෙම සිදුවීම බ්‍රිතාන්‍යයේ නීති පද්ධතියේ මෙන්ම හමුදා ක්ෂේත්රයේ කළුපැල්ලමක් ලෙස සටහන් වූ අතර, ටියුරින් වෙනුවෙන් බ්‍රිතාන්‍ය රජය 2009 වර්ෂය වෙනතුරුම සමාව අයැද සිටීමට කටයුතු නොකර සිටීම විශේෂත්වයකි. 2014 වර්ෂයේදී ටියුරින් හට රාජකීය සමාව ලබාදීමට කටයුතු කර තිබිණි. එමෙන්ම 2017 වර්ෂයේදී සමලිංගික වීම මත අපරාධ වරදකරුවන් වූ පුද්ගලයන් දහස් ගණනකට සමාව ලබාදීම සඳහා ටියුරින්ගේ නමින් නීතියක්ද සම්මත කරන ලදී.
ඉහත එංගලන්ත බැංකුව විසින් එළිදක්වන ලද පවුම් 50 නෝට්ටුව ටියුරින් ගේ උපන්දිනය එළඹෙන ජූනි 23 වැනි දින සිට නිල වශයෙන් සංසරණය වීමට නියමිතය.