2021 මාර්තු 27 වන සෙනසුරාදා

සූවස් ඇළෙත් මාර ට්‍රැෆික්!

 2021 මාර්තු 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 138

ලෝකයේ ප්‍රධාන වෙළෙඳ නාවික මාර්ගයක පිහිටා ඇති සූවස් ඇළේද පසුගියදා තදබදයක් හටගත්තේය. සූවස් ඇළ තරණය කරමින් සිටි නෞකාවක් ආපදාවට ලක්වීම නිසාය. මීටර් 400ක් දිග මීටර් 59ක් පළල ටොන් 219,079ක් බර පැනමා ධජය යටතේ යාත්‍රා කරමින් තිබූ එම නැව ආපදාවට ලක්වීම නිසා තවත් නෞකා 50ක් පෝලිමේ තිබූ  බව වාර්තා වේ. නැව ආපදාවට ලක්වූ සූවස් ඇළේ මෙම කොටස පටු බැවින් සියලු නැව් ගමනාගමනය ඇණහිට තිබී ඇත.

ඇළ තැනීමට පෙර මුල් යුගයේ යුරෝපයේ සිට ආසියාවට පැමිණෙන නෞකා අප්‍රිකානු මහද්වීපය වටා ඉතා විශාල දුරක් යාත්‍රා කර අනතුරුව ආසියාවට ළඟා විය යුතුව තිබුණි. නමුත් ඊජිප්තුව හරහා මධ්‍යධරණී මුහුද හා රතු මුහුද යා කරමින් ඉන්දියන් සාගරයට පිවිසීම සඳහා සූවස් ඇළ නිර්මාණය වීමත් සමඟ මෙම මාර්ගය කෙටි විය.

සූවස් ඇළ ප්‍රංශ රජයේ වුවමනාව මත නිර්මාණය වූ අතර, වැඩ ආරම්භ කර වසර 10කින් එනම් 1869 වසරේ දී මෙය විවෘත කරන්නට යෙදිණි. මෙම ඇළේ පාලන බලය හිමිවන්නේ ප්‍රංශයේ හා බ්‍රිතාන්‍යයේ වෙළෙඳ සමාගම්වලටය.  
මෙම ඇළ එවකට ඊජිප්තු ජනාධිපතිවරයා විසින් ජනසතු කර එහි ආදායම ඊජිප්තු රජයට පවරා ගැනීමට තීරණය කිරීමත් සමඟ ලොව කැළඹූ සූවස් ඇළ අර්බුදය ද ඇවිල ගියේය.