අමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සිය නිල ගුවන් යානය වන එයාර් ෆෝස් වන් යානයේ පියගැටපෙළ මත ලිස්සා වැටීමේ සිද්ධිය ලෝක ජනමාධ්‍ය උණුසුම් කළ පුවතක් විය.
අමෙරිකා ජනාධිපතිවරයා ඇට්ලන්ටා බලා පියාසර කිරීම සඳහා නිල ගුවන් යානය වන එයාර් ෆෝස් වන් යානයට ගොඩවීම සඳහා පඩිපෙළ නගින අවස්ථාවේ පය පැටලී කිහිප අවස්ථාවක ඇදවැටෙන ආකාරය මාධ්‍ය පුන පුනා ප්‍රචාරය කළ අතර එය පුටින් හට කළ අභූත චෝදනාවකට කම් පළදීමක් හැටියට ඉන් සමහරුන් හුවා දක්වා තිබිණි.ජෝ බයිඩන් ජනාධිපතිවරයා ගුවන් යානයට ගොඩවීම සඳහා පඩිපෙළට නැග පඩි 10ක් පමණ ඉහළට නගිනවාත් සමඟ මෙලෙස පය ලිස්සා වැටී තිබේ. එලෙස තෙවරක් ඔහු පය ලිස්සා වැටෙන ආකාරය දක්නට ලැබේ.
පසුගිය සතියේ බයිඩන් විසින් රුසියානු ජනාධිපති පුටින්ට “ඝාතකයා” යනුවෙන් කළ චෝදනාවට පිළිතුරු දෙමින් පුටින් විසින් බයිඩන්ට විවෘත සජීවී සංවාදයකට කළ ආරාධනාව අවසානයේ ඔහුට යහපත් සෞඛ්‍යයක් ද ප්‍රාර්ථනය කළේය.
කෙසේ වුවද විවෘත සජීවී සංවාදය මගහැරි බයිඩන් අභ්‍යන්තර චාරිකාවක් සඳහා මෙසේ සිය ගුවන් යානයට නැගීමට ගිය පියගැටපෙළේදී තෙවරක්ම ඇදවැටීම මේ ඔපාදූපයට පණ ලබා දී තිබුණි.
බයිඩන් මෙලෙස ලිස්සා වැටෙද්දී ජනාධිපති පුටින් රුසියාවේ නිෂ්පාදිත කොවිඩ්-19 එන්නතක්ද ලබාගෙන සිය ආරක්ෂක ඇමැතිවරයා සමඟ සයිබීරියාවේ වනගත විනෝද චාරිකාවක නිරතවෙමින් සති අන්තය ඉතා සැහැල්ලුවෙන් ගත කරන ආකාරය ද ජාත්‍යන්තර මාධ්‍යවල පළ විය.
අමෙරිකාවට බයිඩන්ගේ ආගමනයත් සමඟ ඩොනල්ඩ් ට්‍රම්ප් යුගයේ මෝරා ආ රුසියානු – අමෙරිකානු මිත්‍රත්වය පිරිහෙන්නට කරුණු යෙදිණි. බයිඩන් ප්‍රසිද්ධියේම රුසියානු නායකයා හට විවිධ චෝදනා සහ වාග් ප්‍රහාර එල්ල කරන්නට විය. සිය ගුවන් යානයේ පියගැට මත ලිස්සා වැටීමට පෙර දින ABC රූපවාහිනී නාළිකාව සමඟ සාකච්ඡාවකට එක්වෙමින් රාජ්‍යතාන්ත්‍රිකයකුට නොහොබිනා අයුරින් හා, ඉතා බොළඳ ලෙස බයිඩන් විසින් පුටින් ඝාතකයකු යනුවෙන් කරන ලද ප්‍රකාශයෙන් අනතුරුව අමෙරිකාවේ රුසියානු තානාපති ඇනටොලි ඇන්ටොනොව් වහාම රුසියාවට කැඳවීමට ක්‍රෙම්ලින් බලධාරීන් පියවර ගෙන තිබුණි.
ඉන් නොනැවතුණු රුසියානු ජනාධිපති පුටින් විසින් බයිඩන්ට පිළිතුරු ලබාදෙමින් ප්‍රකාශ කර ඇත්තේ මෙය බයිඩන් විසින් කණ්නාඩියක් ඉදිරිපිටදී තමා විසින් තමාටම පවසා ඇති දෙයක් බවයි. තවද රුසියානුවන්ට ආවේණික වූ ආචාරශීලීත්වය පිළිඹිබු කරමින් ඔහු බයිඩන් ජනාධිපතිවරයාට යහපත් සෞඛ්‍යයක් ද ප්‍රාර්ථනා කළේය. කුඩා අවධියේදී ළමයින් රණ්ඩු කරමින් අන් අයට කරන චෝදනා වලංගු වන්නේ චෝදනාව කරන ළමයාටම බව මෙහිදී පුටින් පෙන්වා දී තිබුණි. මේ සියල්ල ලෝක ජනමාධ්‍ය තුළ ආන්දෝලනාත්මක පුවත් බවට පත්වෙද්දී හදිසියේ වාර්තා වූ බයිඩන් ලිස්සා වැටුණු පුවතට සුවීශේෂී ප්‍රචාරයක් ලැබිණි.
ධවල මන්දිරයේ ප්‍රධාන නියෝජ්‍ය මාධ්‍ය ලේකම් කරීන් ජීන් පියරේ, එම අවස්ථාවේ ගුවන් තොටුපොළේ තිබූ අධික සුළඟ නිසා ජනාධිපතිවරයාට පඩිපෙළ නැගගැනීමට අපහසු වන්නට ඇති බව පවසා තිබුණි.