2021 මාර්තු 27 වන සෙනසුරාදා

ටැන්සානියා මහ පුටුවට වළලු දැමූ අතක්!

 2021 මාර්තු 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 70

ටැන්සානියාවේ උප ජනාධිපතිනි සමියා සුලූහු හසන් එරට පළමු කාන්තා ජනපතිනිය ලෙස දිවුරුම් දුන්නාය. ඒ හිටපු ජනපති ජෝන් මැගෆුලිගේ හදිසි වියෝවෙන් පසුවය.
‍උප ජනපතිනියට ජනපති ධුරයේ ඉදිරි කාලය සඳහා පත්වීමට ඒ රට ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති ප්‍රතිපාදනයන්ට අනුකුලව එය සිදුවිණි.

පෙබරවාරි අගභාගයේ සිට ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ පෙනී නොසිටි අතර එම අවස්ථාවේ ජනාධිපතිවරයා රෝගාතුරව ඇති බවට අරංචි පැතිර ගිය ද ටැන්සානියා බලධාරීහු ඒවා කටකතා බව පවසමින් ප්‍රතික්ෂේප කළහ.
ඩාර් එස් සලාම් හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී 61 හැවිරිදි ජනාධිපතිවරයා හෘදරෝගී තත්ත්වයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වූ බව එරට උප ජනපතිනි සමියා සුලූහු හසන් පසුගියදා ප්‍රකාශ කළාය. ඒ අනුව ඩාර් එස් සලාම් හි පිහිටි රාජ්‍ය මන්දිරයේදී ඇය දිවුරැම් දුන්නාය.

ගුරුවරයකු වූ අභාවප්‍රාප්ත ජනාධිපතිවරයා 1995 වසරේ මන්ත්‍රීවරයකු ලෙස තේරීපත් වූ අතර 2000 වසරේදී කැබිනට් අමාත්‍ය ධුරයක් හිමිවිය.

ටැන්සානියා ජනාධිපතිවරයා මියගියේ, හෘදරෝගී තත්ත්වයක් නිසා බවට උප ජනාධිපතිවරයා පැවසුව ද එරට විපක්ෂ දේශපාලනඥයන් පවසන්නේ, ජනාධිපතිවරයා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, කොරෝනා වැළඳීමෙන් බවටය.
කෙසේ වෙතත් අභාවප්‍රාප්ත ජනාධිපතිවරයා පසුගිය ජූනි මාසයේදී ටැන්සානියාව කොරෝනාවලින් තොර රටක් ලෙස ප්‍රකාශයට පත් කළ අතර ඔහු මුව ආවරණ පැළඳීම සමච්චලයකට ලක්කරමින්, කොරෝනා පරීක්ෂාවන් පිළිබඳ විශ්වාස නොකර, කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සෞඛ්‍යරාක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ රටවල් විහිළුවට ලක් කළේය. ටැන්සානියාව පසුගිය මැයි මාසයෙන් පසු එරට කොරෝනා ආසාදිතයන් පිළිබඳ තොරතුරු හෙළි නොකළ අතර වෛරස මර්දන එන්නත් මිලදී ගැනීම ද ප්‍රතික්ෂේප කළේය. ඔහුගේ  හදිසි මරණය වාර්තා වූයේ ඒ අතරය.