2021 මාර්තු 27 වන සෙනසුරාදා

හඳ පෙන්නා ඡන්දෙ හිඟයි!

 2021 මාර්තු 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 46

හඳෙන් හාල් ගෙනැවිත් දෙන්නට පොරොන්දු වූ අය සිටියේ මේ රටේය. දැන් හැම පුද්ගලයකුටම හඳට යන්නට චාන්ස් එකක් දෙන්නට පොරොන්දු වූ කෙනෙක් අපේ අල්ලපු රටේ බිහි වී තිබේ. ඔහු හඳට යනවා තබා තමන්ගේ නාමයෝජනා භාරදීමට අවශ්‍ය මුදල ගෙවා ගන්නටවත් අතේ පිච්චිය නැති හාදයෙකි. ඔහු එය ගෙවා ඇත්තේද පොලියට ගත් මුදලින් වීම මෙහි ඇති ඉළ ඇදෙන කාරණාවයි. මේ අපූරු ඡන්ද අපේක්ෂකයා ගැන වාර්තා වෙන්නේ ඉන්දියාවේ තමිල්නාඩුවෙනි.

මෙවර තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයට ඉදිරිපත්ව සිටින ඔහු "තුලාම් සරවනන්" නමැති 33 හැවිරිදි අයෙකි. මෙතෙක් කිසිදු මැතිවරණ අපේක්ෂකයකු විසින් ලබා නොදුන් ආකාරයේ අරුම පුදුම පොරොන්දු සිය මැතිවරණ ප්‍රකාශනයෙන් ඉදිරිපත් කිරීම හේතුවෙන් මෙතෙක් කිසිදු කෙනෙක්ගේ අවධානය දිනා නොගත් සාමාන්‍ය හාදයකු වූ සරවනන් පිළිබඳව දැන් බොහෝ දෙනාගේ අවධානය යොමුව හමාරය. 

ඉටුකිරීමට අසීරු ඔහුගේ අපූරු ඡන්ද පොරොන්දු අතරට සඳ ගමනක්, සෑම නිවෙසකටම  හෙලිකොප්ටර් යානයක් සහ වාර්ෂිකව කෝටියක තැන්පතුවක්, මෙන්ම උත්සව සඳහා රන් ආභරණ, තෙමහල් නිවාස ආදිය ඔහුගේ මැතිවරණ පොරොන්දු අතර වෙයි.   
පොලී පදනම මත ලබාගත් ණය මුදලකින් ප්‍රාන්ත මැතිවරණයට නාමයෝජනා භාරදීමට අවශ්‍ය මුදල ගෙවා ඇති 33 හැවිරිදි තුලාම් සරවනන් තවමත් සිය තම දිළිඳු වයෝවෘද්ධ මව්පියන් සමග වෙසෙන තැනැත්තෙකි.