මියන්මාරයේ බලහත්කාර හමුදා පාලනයට එරෙහිව එරට රට වැසියන් විසින් සිදුකරනු ලබන විරෝධතා හේතුවෙන් මේ වනවිට එරට ප්‍රධාන නගරය වන යැන්ගුන් කළු දුමාරයෙන් පිරි ගොසිනි. පෙබරවාරි 1 වැනිදා හමුදා කුමන්ත්‍රණය සිදු වූ දා සිට මේ දක්වා මියන්මාරයේ අඛණ්ඩ විරෝධතා ක්‍රියාත්මකය.
මේ වනවිට බලය වෙනුවෙන් මිනිස් ජීවිත පවා මායිම් නොකරන මියන්මාරයේ, හමුදා පාලකයින් එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් විරෝධතාවල නිරත ජනතාව 200 දෙනෙකු පමණ මියගොස් ඇති අතර එරට බොහෝ ප්‍රදේශවලට මේ වනවිට හමුදාව විසින් යුද නීතිය පනවා හමාරය.
යැන්ගුන් නගරයේ මාර්ගවල විරෝධතාකරුවන් තාවකාලික මුරකපොලු ආදිය ඉදිකරමින් මියන්මාර හමුදාවන්ට පෙට්‍රල් බෝම්බ එල්ල කරති. දිනෙන් දින හමුදා පාලකයින්ගෙන් විරෝධතාකරුවන්ට ලැබෙන ප්‍රතිචාරයද දරුණු වෙමින් පවතින අතර දැන් උත්තර ලැබෙන්නේ වෙඩි උණ්ඩයෙනි. විරෝධතාකරුවන්ගේ ඉල්ලීම වන්නේ, සිවිල් නායිකාව නිදහස් කර යළි ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කරන ලෙසයි.
මේ අතර චීන විරෝධයක්ද රට තුළ හටගෙන ඇත. විරෝධතාකරුවන් චෝදනා කරන්නේ, චීනය හමුදා පාලකයින්ට සහාය දෙමින් සිටින බවටය. මියන්මාරයේ පිහිටි චීන කර්මාන්තශාලා ඇතුළු ව්‍යාපාරික ස්ථානවලට විරෝධතාකරැවන් පහර දීමත් සමග හමුදා පාලකයින් ලයින්තාර්යා සහ ෂ්වේපිතා ප්‍රදේශවලට යුද නීතිය පැනවීමට පියවර ගෙන තිබේ. විරෝධතාකරැවන් යකඩ පොලු, ආයුධ භාවිත කරමින් සහ පෙට්‍රල් දමා ගිනි තබමින් චීන කර්මාන්ත ශාලා 10කට පමණ හානිකර ඇති අතර එරට පිහිටි චීන හෝටලයකටද ප්‍රහාර එල්ල වී ඇත.
මියන්මාර සිවිල් නායිකා අවුන් සාන් සුකී ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගයේ දේශපාලන නායකයින් අත්අඩංගුවට ගැනීමෙන් පසු හමුදා පාලකයින් මියන්මාරයේ බලය සියතට ගත්තේය. පැවති මැතිවරණයෙන් සුකීගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය ජයග්‍රහණය කළද හමුදා පාලකයින් චෝදනා කර සිටියේ, මැතිවරණය වංචනික බවටයි. චෝදනා කිහිපයක් එල්ලකරමින් සුකී රක්ෂිත බන්ධනාගාර ගතකළ අතර පසුගිය සතියේ ඇයට එරෙහිව තවත් චෝදනා කිහිපයක් ගොනු කිරීමට හමුදා පාලකයින් පියවර ගෙන තිබිණ.
අඩ සියවසකට අධික කාලයක් පැවති හමුදා පාලනය අවසන් වීමෙන් අනතුරුව මියන්මාරයේ පැවැති දෙවැනි ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය ලෙස පසුගිය නොවැම්බර් මාසයේ පැවැති මැතිවරණය හැඳින්වේ.
2011 වසරේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයකට පැමිණෙන තුරු මියන්මාරය තුළ ක්‍රියාත්මක වූයේ, හමුදා පාලනයකි. සුකී ඇතුළු පිරිස නිදහස් කරමින් ප්‍රජාත්න්තතවාදය යළි ස්ථාපනය කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ලෝක බලවතුන් ඉල්ලා සිටියද මියන්මාර හමුදා පාලකයින් සිය තීරණය අඩියකින් හෝ පිටුපසට තැබීමේ සූදානමක් ඇති බවක් පෙනෙන්නට නොමැත. ශුද්ධෝත්තම පාප් වහන්සේද මියන්මාරයේ ප්‍රචණ්ඩත්වය වහාම නවත්වන ලෙසටද ඉල්ලීමක් කර තිබුණි.
සංස්කරණය:
සුගත් පී. කුලතුංගආරච්චි