2021 මාර්තු 20 වන සෙනසුරාදා

සහරා කතර කෙම්බිමක් කරන යෝධ හරිත තාප්පයක්!

 2021 මාර්තු 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 185

අප්‍රිකා මහාද්වීපයට අයත් ලොව විශාලතම කාන්තාරය ගහකොළින් සශ්‍රීක කෙරෙන මහා ව්‍යාපෘතියක් දැන් ඇරඹී තිබේ. උතුරු අප්‍රිකාවේ සෙනගාලය සහ ජිබූටි අතර සැතපුම් 5000ක් දිගැති යෝද හරිත තාප්පයක් වගා කිරීමට පියවර ගැනීමත් සමඟය. වර්ග කිලෝමීටර ලක්ෂ 86ක් වසා පැතිර යන සේ වගා කෙරෙන මේ යෝධ හරිත තාප්පය සහරා කතර කෙම්බිමක් කිරීමේ නවතම සංකල්පයකි. මේ සජීවි හරිත වැට මහා නිරැදක කතර හරහා එහි සහේල් කලාපයට අයත් රටවල් 11ක් අතරින් ඇදී යන අපූරු නිර්මාණයකි. ලොව යෝධතම පණගැහෙන ජීවගහනය ගොනු කරගත් ස්ථානය ලෙස දැනට සැලකෙන මහා බාධක කොරල්පරය මෙන් තුන්ගුණයක් මේ නව සජීවී හරිත තාප්පය නිමවූ පසු විශාල වනු ඇත. 

සහරා කතර හේතුවෙන් අප්‍රිකාවේ මිලියන 135ක් දැන් එදාවේලවත් නැති අන්ත අසරණ බවට පත්ව සිටිති. දියබිඳක් නැති කාෂ්ඨක නිසරු පොළොව හරහා මහ කතර මැදින් නිමැවෙන මේ ව්‍යාපෘතිය 2007දී තීන්දු වූවකි. නමුත් ඒ සඳහා අවශ්‍ය වන ඩොලර් බිලියන 33ක මුදලින් අඩක් මේ වනවිට ලෝක බැංකුව සහ අනෙකුත් ආධාරකරුවන් ලබාදීමට ගිවිස ඇති අතර ප්‍රංශ රජය ඩොලර් බිලියන 14ක් ඉකුත් ජනවාරියේ ලබාදීමත් සමග දැන් ව්‍යාපෘතිය අලුතෙන් පණ ගසාවිත් හමාරය. මේ මහා හරිත තාප්පය නිර්මාණය 2030දී සැපිරීමට අරමුණු කර තිබේ. පසුගිය සියවසක කාලය තුළ සහරා කතර සියයට 10කින් පැතිර ගොස් තිබේ. ඒ අනුව අලුතෙන් කාන්තාර බවට පත් භුමි ප්‍රමාණය වර්ග සැතපුම් ලක්ෂ 33කට වැඩිය. කාන්තාරකරණය වැළැක්වීමේ මේ මහා ව්‍යාපෘතිය මිනිස් ඉතිහාසයේ යෝධ ප්‍රයත්නයකි.