2021 මාර්තු 13 වන සෙනසුරාදා

රටකජු කොල්ලා බ්‍රසීලයේ මහ පුටුවට!

 2021 මාර්තු 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 147

බ්‍රසීල හිටපු ජනාධිපති ලූලා ද සිල්වාට 2022 වසරේ පැවැත්වීමට නියමිත එරට  ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට දැන්  අවස්ථාව හිමිව තිබේ. ඔහුට එරෙහි දූෂණ සහ අපරාධ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර තිබීම හේතුවෙනි. එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තීන්දුව ලබා දී තිබේ. ඒ අනුව 75 හැවිරිදි ලූලා ද සිල්වා හට නැවත ජනාධිපතිවරණයට එක්වන්නට ඉඩ සැලසී තිබේ.

ඔහු මාස 18ක කාලයක් බන්ධනාගාර ගතකර තිබුණි. ඒ හේතුවෙන් පසුගිය ජනාධිපතිවරණයට නාමයෝජනා බාර දීමටද අවස්ථාව නොලැබුණි.

වාමාංශික දේශපාලනඥයෙක් ලෙස ලූලා ද සිල්වා ඉහළ ජනප්‍රියත්වයක් ලබා සිටින චරිතයකි. බ්‍රසීලයේ ඉතා දුප්පත් පවුලක දරුවෙකු ලෙස 1945 වසරේ උපත ලද ලූලා ද සිල්වා කුඩා කළ සිට විවිධ රුකියාවල නිරත වී ඇත්තේ, පවුලේ අගහිඟකම් හේතුවෙනි. බ්‍රසීල භාෂාව කියවීමට හැකිවන තෙක් පමණක් අධ්‍යාපනය ලබා ඇති ලූලා ද සිල්වාට කුඩා කාලයේදීම අධ්‍යාපන ගමන සමුදීමට සිදුව ඇත.

කුඩා කාලයේ දුම්රියේ රටකජු විකිණීමට ගොස් ඇති අතර ඊට අමතරව සපත්තු පොලිෂ් කරන ළමයෙකු ලෙසද ක්‍රියාකර ඇත්තේ, ආර්ථික අපහසුතාවන් ආර්ථික අපහසුතාවන්ට මිරිකී සිටි පවුල යම් තරමකට හෝ ගොඩගැනීමේ අරමුණ ඇතිවයි.
තරුණ වියට එළැඹෙත්ම දුම්රියේ කම්කරුවෙකු ලෙස සේවයට එක්වන ලූලා ද සිල්වාට සිය දකුණතේ ඇඟිල්ල අහිමි වන්නේ, එහිදී සිදු වූ අනතුරකිනි. 

රැකියාවට එක්වූ මුල් කාලයේදී දේශපාලනයට පිවිසීමේ අරමුණක් නොතිබූ හිටපු ජනාධිපතිවරයාගේ දේශපාලන ගමනට මුල් පියවර සැකසෙන්නේ, වෘත්තිය සමිතිවල ක්‍රියාකාරී සාමාජිකයෙකු බවට පත්වීමත් සමගයි. 1975 වසරේදී ලක්ෂයක පමණ වූ ලෝහ කම්කරුවන්ගේ වෘත්තීය සමිතියේ නායකයා ලෙස ඡන්දයෙන් තේරී පත්වීම ලූලා ද සිල්වාගේ දේශපාලන ගමනේ හැරවුම් ලක්ෂය බවට පත් විය.

එලෙස කම්කරුවෙකුව සිට දේශපාලනයට පිවිස ජනපති ධුරයට පත් ලූලා ද සිල්වා සැලකෙන්නේ, එරට හිටපු ජනාධිපතිවරුන් අතරින් ජනප්‍රියම ජනාධිපතිවරයා ලෙසයි. 2003 වසරේදී ලූලා ද සිල්වා බලයට පත් වන්නේ  බ්‍රසීල දේශපාලනයේ පළමු වාමාංශික නායකයා ලෙසිනි.

ඔහු සිය  පාලන කාලයේදී මිලියන ගණනක් දරිද්‍රතාවෙන් මුදාගැනීම හේතුවෙන් ඉහළ ජනප්‍රියත්වයක්ද ලබාගත් අතර වැඩි ආර්ථික වර්ධනයක් අත්කර ගනිමින්  අන්තර්ජාතිකමය වශයෙන් බ්‍රසීලය ප්‍රමුඛ ස්ථානයකට ගෙන ඒමට ක්‍රියාකළ නායකයෙකු ලෙස සැළකේ.