2021 පෙබරවාරි 27 වන සෙනසුරාදා

සමාගම් 100ක් ඇපල් ගිලියි!

 2021 පෙබරවාරි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 120

ලොව වැඩිම ආදායමක් ලබන ඇපල් සමාගම සෑම සති තුන හතරකට වරක් අලුත් සමාගමක් අත්පත් කරගැනීම සිදුවන බව සමාගමේ ප්‍රධාන විධායක ටිම් කුක් අනාවරණය කර තිබේ.

ඒ අනුව පසුගිය වසර හය තුළ ඇපල් සමාගම වෙනත් සමාගම් 100ක් පමණ අත්පත් කරගෙන ඇති බව ඔහු  ඉකුත්දා ඇපල් සමාගමේ කොටස් හිමියන්ගේ වාර්ෂික රැස්වීමේ දී කියා තිබුණි.

කොවිඩ් වසංගතය මැද වුවද 2021 මුදල් වර්ෂයේ පළමු කාර්තුවේදී පමණක් ඇපල් සමාගම ඩොලර් බිලියන 111.4ක් උපයා ගනිමින් මෙතෙක් කාර්තුවක උපයාගත් විශාලතම ආදායමද වාර්තා කර ඇත.
තමන් වෙනත්  සමාගම් අත්පත් කර ගැනීම්වලදී බොහෝ දුරට තාක්ෂණය හා කුසලතා අත්පත් කර ගැනීම අරමුණු කරගත් බව කුක් මහතා කොටස් හිමියන්ගේ රැස්වීමේදී වැඩිදුරටත් කියා ඇත. බොහෝවිට, ඇපල් කුඩා තාක්ෂණික සමාගම් මිලදී ගෙන පසුව ඔවුන්ගේ නවෝත්පාදනයන් තමන්ගේම නිෂ්පාදන සමඟ ඒකාබද්ධ කරයි. එක් උදාහරණයක් නම් ප්‍රයිම්සෙන්ස්ය. එය ඊශ්‍රායල ත්‍රිමාණ සංවේදක සමාගමක් වන අතර මිලදී ගත් පසු එහි තාක්‍ෂණය ඇපල් සිය ෆේස්අයිඩී සඳහා දායක කර ගත්තේය.