
මියැන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදයේ සලකුණ ලෙස සැලකිය හැකි නොබෙල් සම්මානලාභී අවුන්ග්සාන් සුකී නැවතත් එරට හමුදා පාලනයක සිරකාරිය බවට පත්ව හමාරය. ඇයට මෙන්ම මියැන්මාරයටද නිදහසේ හුස්ම ගන්නට ලැබුණේ යාන්තම් වසර 04කටත් අඩු කාලයකි. කොවිඩ් වසංගතයෙන් හොඳටම හෙම්බත්ව ආර්ථික පරිහානියෙන්ද බැටකන මියැන්මාරයට දැන් නැවතත් ප්‍රජාතන්ත්‍රවාදය සොයා බලඅරගලයක යෙදෙන්නට සිදුව තිබේ. අවන්සාන් සුකීහට තමන්ට සුපුරුදු නිවාස අඩස්සිය නැවත හිමිව තිබේ. සුකී යනු එරට වසර 50කට ආසන්න කාලයක් පාලනය සිදුකළ මිලිටරි ආඥාදායකත්වයට එරෙහිව ඇති මහා හිසරදයයි. ඇය බලයට ඒම වැළැක්වීම ඔවුන්ගේ පරම අභිලාෂයයි. මේ නිසාම කාලයක් තිස්සේ සුකී හැර වෙන ඕනෑම කෙනෙක් යන්න මිලිටරිය ගැති ආණ්ඩුවේ සටන් පාඨය බවට පත්ව තිබේ.
අවුන්සාන්ග් සුකී යනු බල අරගලයක නිෂ්පාදනයකි. සුකී මියැන්මාරයේ නිදහස් සටනේ වීරයා වූ ජනරාල් අවුන්සාන්ගේ දියණියයි. ඇගේ පියා ඝාතනයට ලක්වුණේ 1947 දී බල වෙනසකට ලක්ව රට නිදහස් වීමට මාස 6ක් තිබියදීය. එවකට ඇගේ වයස යාන්තම් වසර 2කි. 1960 දී ඇය සිය මව සමග දිල්ලියට යන්නේ මියැන්මාර තානාපතිනිය ලෙස මවට ලැබුණු පත්වීම සමගය. ඉන් පසු ඇය ඔක්ස්ෆර්ඩ් වෙත යන අතර දර්ශනය, දේශපාලනය සහ ආර්ථිකය හදාරයි. ඇගේ සැමියා මුණගැසෙන්නේ එහිදීය. ජපානය, භූතානය සහ බ්‍රිතාන්‍යයේ සේවයේ යෙදෙන ඇය ඇගේ පුතුන් දෙදෙනා වන අලෙක්සැන්ඩර් සහ කිම් හදාවඩා ගනියි. 1988 දී ඇය රුන්ගුන් වෙත එන්නේ ඒ වනවිට අසාධ්‍ය තත්ත්වයේ සිටි ඇගේ මවගේ සුවදුක් බලන්නටය. ඒ වනවිට මියැන්මාර මාතාවද සිටියේ දේශපාලන සහ ආර්ථික වශයෙන් අසාධ්‍ය තත්ත්වයකය. දහස් ගණන් සිසුන්, කම්කරුවන්, සංඝයා වහන්සේ වීදි බැස සිටියේ මිලිටරි ජුන්ටාවේ යකඩ සපත්තු පීඩනයට එරෙහිවය. තාත්තාගේම දියණියක වූ සුකීහට මේ දේශපාලන අරගලයට මැදිහත් නොවී මැදහත් සිතින් යුතුව සිටින්නට නොහැකි විය. එවකට රටේ ඒකාධිපතියාව සිටි ජනරාල් නී වින්ට එරෙහිව ඇය සටනට එන්නේ එහෙයිනි.
අමෙරිකාවේ මාටින් ලූතර් කිං සහ ඉන්දියාවේ මහත්මා ගාන්ධිගේ අහිංසාවාදී අරගලවලින් පන්නරය ලැබූ ඇයද රටපුරා යමින් සාමකාමී විරෝධතා පවත්වමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සාධාරණ වෙනස්කම් රුසක් රටට ලබා ගැනීමට සටනට බැස්සේය. නමුත් හමුදා යකඩ හස්තය ජනරුලි මැඩ පැවැත්වූයේ භීෂණාත්මක අයුරිනි. හමුදාව බලය සියතට ගත්හ. සුකී නිවාස අඩස්සියට තල්ලු කෙරිණි. 1990 දී හමුදා රජය ජාතික මැතිවරණයක් පැවැත්වූ අතර සුකී නියෝජනය කළ ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලීගයට මෙදා මෙන්ම එදාත් බහුතර බලය හිමිවූයේය. නමුත් ජුන්ටාව බලය අතහැරියේ නැත. ඉන්පසුවද සුකීට තවත් වසර 6කට නිවසට කොටුවන්නට සිදුවූයේ කිසිවකු හෝ මුණගැසීමට අවස්ථාවක් ලබා නොදෙමිනි. මානව හිමිකම් සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා සාමකාමී අරගලයක යෙදුණු තැනැත්තියක වශයෙන් 1991 දී ඇයට නොබෙල් ත්‍යාගයද පිරිනැමුණේ මේ අතරය.
2002 දී නිවසින් එළියට පැමිණි ඇය නැවත සිරගත කෙරුණේ වසරක් ගතවන්නටත් පෙරය. නැවතත් නිවසට යන්නට ඇයට අවස්ථාව ලැබුණද ඒ නැවතත් නිවසට කොටු කිරීමක් විය. ඇගේ සැමියාත් දරුවන් දෙදෙනාත් ඒ වනවිට බ්‍රිතාන්‍යයේ විසූහ. සැමියා පිළිකාවකින් අසාධ්‍යව මියගිය අතර ඇයට ඒ සඳහාවත් සහභාගිවීමට නොහැකි වූයේ එසේ ගිය පසු තමන්ට නැවත රටට එන්නට ඉඩ නොදෙනු ඇතැයි යන සැකය හේතුවෙනි. 2010 නොවැම්බරයේදී වසර 15කට පසු සුකීගේ නිවාස රුඳවුම් කාලය අවසන් වීමත් සමගම දරුවන්ට මුල්වතාවට සිය මව දැක ගැනීමට අවස්ථාව ලැබුණි. 2012 දී ඇය අතුරු මැතිවරණය ඔස්සේ පාර්ලිමේන්තුවට පැමිණ විපක්ෂනායක ධුරයට පත්වූවාය. ඇගේ එල්ලය වූ විපක්ෂනායක පුටුවෙන් රටේ මහ පුටුවට යාම සඳහා ඇයට සරල සාමකාමී ගමනක් යන්නට හැකිවූයේ නැත.
2016 මහ මැතිවරණය දක්වා බරපතළ දේශපාලන ගමනක් එන්නට ඇයට හැකිවූයේ එතැන් සිටය. මියන්මාරය තුළ පැවැත්වූ වඩාත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස නම්කළ මැතිවරණය 2015 වසර මුල පැවැත්විණි. වසර 25කට පසු සුකී නැවතත් බුරුමය අතට ගත්තාය. මිලියන 30ක් වූ මියන්මාරයේ ඡන්ද හිමි ජනතාව අතරින් සියයට 80ක්ම එදා සිය කතිරය ගසා තිබුණි. ඔවුන් බහුතරයකගේ ඉල්ලීම වී තිබුණේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වෙනසකි. රටේ ජනතාවගේ හඬට ශක්තියක් දෙන්නට ඈ මේ අවස්ථාවේදී ඉදිරිපත්ව සිටියත් මේ මැතිවරණයෙන් ඇගේ පක්ෂය ජයගත්තත්, රටේ නීතිගත ව්‍යවස්ථාවට 2008 දී හදිසියේ දැමූ අණ්ඩයක් මගින් ඇය රටේ නායකත්වයට ඒම වළක්වා තිබුණි. ඒ රටේ නායකත්වයට එන කිසිවෙකුට හෝ ඔහුගේ නැත්නම් ඇයගේ ඥාතියකුහට හෝ පිටරට පුරවැසි බව තිබිය නොහැකිය යන කොන්දේසිය මතය. සුකීගේ දරුවන් දෙදෙනාම බ්‍රිතාන්‍ය බලපත‍්‍ර දරන්නේය. මියගිය සැමියාද පිටරුටියෙකි. මේ කියන බාධකය හේතුවෙන් සුකීහට ජනාධිපති පදවිය අහිමිවිය. නමුත් ඈ බුරුමයේ බලවත්ම ගැහැනිය බවට පත්වූවාය. කෙළින්ම නොවූවත් රටේ මෙතෙක් නොපැවැති අන්දමේ සුවිශේෂී නිලයක් ඇය වෙනුවෙන්ම තනන්නට රජය කටයුතු කළේය.
ඒ රාජ්‍ය උපදේශක තනතුරයි. එය අගමැතිකමට සමාන තනතුරකි. සුකී රටේ නායකත්වයට පත්වීම වැළැක්වීමට විපක්ෂය ප‍්‍රමුඛ මිලිටරිය කෙතරම් උප්පරවැට්ටි දැමුවත් අන්තිමේදී ඈ බුරුමය සියතට ගත්තාය. නමුත් දැන් නැවතත් ඇගේ ඉදිරි ගමන වළක්වා තිබේ. රටේ වසර 10කට පමණ පසු නැවතත් හමුදා පාලනයකට මුලපිරී හමාරය. සුකී නැවතත් හිරේ වැටී ඇත.