බ්‍රිතාන්‍යයම කම්පා වෙන කොරෝනා මරණයක් පසුගියදා එංගලන්තයේ බෙඩිෆර්ඩ් රෝහලේදී සිදුවිය. ඒ 100 හැවිරිදි කපිතාන් ශ්‍රීමත් ටොම් මූවර්ගේ මරණයයි. හිටපු හමුදා නිලධාරියෙකු වූ ටොම් මූවර් 2020 වසරේදී කොරෝනා වසංගතය මැඩලීම වෙනුවෙන් බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවය සඳහා පවුම් මිලියන 33ට අධික මුදලක් රුස් කිරීමට සමත් විය. එමනිසාම ඔහු බ්‍රිතාන්‍යයේ ජාතික වීරයෙක් ලෙස හැඳින්වීමට පටන් ගත්තේය.
ඇවිදින උපකරණයක ආධාරයෙන් එවැනි දුරක් ඇවිදිමින් වයෝවෘද්ධ පුද්ගලයෙකු විසින් සිදුකළ විශාලතම ආධාර වැඩසටහන එය විය. එවකට 99 වැනි වියෙහි පසුවූ කැප්ටන් ටොම් මූවර් සිය 100 වන උපන් දිනයට පෙර තම ගෙවත්තේ වට 100 ක් ඇවිදිමින් මෙම අරමුදල රැස් කිරීමට සමත් විය. ඔහු එම වැඩසටහන ආරම්භ කළේ පවුම් 1000 වැනි අරමුදලක් රැස් කිරීම සඳහාය එහෙත් ඔහුගේ ව්‍යාපෘතියට ලැබුණු විශාල ජනතා ආකර්ෂණය නිසා අවසානයේ එය මිලියන 33 ක පමණ දැවැන්ත මුදලක් විය.
දෙවැනි ලෝක යුධ සමයේ බ්‍රිතාන්‍ය රාජකීය හමුදාව වෙනුවෙන් ඉන්දියාවේ සහ බුරුමයේ සේවය කළ ටොම් මූවර් මෙම ආධාර වැඩසටහන නිසාම පසුගිය වසරේ බ්‍රිතාන්‍ය රැජිණගෙන් නයිට්වරයෙකු ලෙස පිදුම් ලැබුවේය. 2021 වසර එළඹීමේදී බ්‍රිතාන්‍යයේ පැවැති සුප්‍රසිද්ධ 31 රාත්‍රී ආලෝක සංදර්ශනයේදී ආලෝක ධාරා ආශ්‍රයෙන් ශ්‍රීමත් ටොම් මූවර්ගේ රුව අහසෙහි අඳිමින් ඔහුට උපහාර දැක්වීමටද බ්‍රිතාන්‍ය රජය කටයුතු කර තිබුණි. පසුගිය දින කිහිපයේදී නිව්මෝනියාව රෝගයෙන් පෙලුණු ටොම් මූවර් හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවීම හේතුවෙන් රෝහල් ගතකරනු ලැබු අතර එහිදී සිදුකරන ලද පරීක්ෂණයකින් ඔහුට කොරෝනා වැළඳී ඇති බව තහවුරු විය. එතැන් පටන් ජාතික සෞඛ්‍ය සේවයේ ඉහළම සැළකිලි මත රෝහලේ ගත කළ ශ්‍රීමත් ටොම් මූවර් සිය ජීවිතයෙන් සමුගත්තේය.