
මාස ගණනාවක් පුරා ඇදීයන ඉන්දීය ගොවි අරගලයේ නව පිටුවක් පෙරළමින් දස දහස් සංඛ්‍යාත ට‍්‍රැක්ටර් රථ මත නැඟී ගොවීහු නවදිල්ලි අගනුවර වටකර ගත්හ. ඔවුන් නගරයට කඩා වැදුණේ ඉන්දීය 72 වැනි ජනරජ දිනයට සමගාමීව වීම විශේෂත්වයකි. ඔවුහු නවදිල්ලි අගනුවර පිහිටා ඇති ඓතිහාසික රතු බලකොටුව තුළටද බලහත්කාරයෙන් ඇතුළු වූහ. රතු බලකොටුව ආක්‍රමණයට දායක වූ ගොවියන් 200ක් පමණ මේ වනවිට අත්අඩංගුවට පත්ව සිටිති.
පොලිස් බාධක පෙරළාගෙන ඔවුන් නගරය තුළට ගොස් ඇති අතර පොලීසිය විරෝධතාකරුවන්ට ලබාදී තිබූ ගමන් මාර්ගය මඟහැර වෙනත් මාර්ග ඔස්සේ ගමන් කිරීම හේතුවෙන් පොලීසිය සහ විරෝධතාකරුවන් අතර ගැටුම් ඇති විය. ඉන් එක විරෝධතාකරුවෙක් මියගොස් තිබේ. පොලිසියේ 394ක්ද ප්‍රහාරයට මැදිව රෝහල් ගතකර ඇත. ඉකුත්දා පැවැති රුලිය යනු ඉන්දියාව මෙතෙක් දැක ඇති ගොවීන්ගේ දීර්ඝතම විරෝධතාවයෙන් එකක් වන මාස ගණනාවක් පුරා පැවති විරෝධතාවක අලුත්ම දිගහැරුමයි.
ගොවීහු දිල්ලියට පිවිසෙන ස්ථාන හයක සිට කඩාවැදීම ආරම්භ කිරීමට අපේක්ෂා කළ අතර ඒ සියල්ලටම පොලිසිය බාධක දැමීය. ගොවි කණ්ඩායම්වලට නගරයට ඇතුළු වන ලෙස දැනුම් දුන්නේ ජනරජ දින පෙළපාළිය අවසන් වීමෙන් පසුව පමණි. නමුත් විවිධ දේශසීමා දෙකක ගොවි කණ්ඩායම් (සිංගු සහ ටික්රි) බාධක බිඳ දමා පයින් හා ට්‍රුක්ටර්වලින් සිය ගමන ආරම්භ කර කළහ. මෙම විරෝධතාවයට ට්‍රුක්ටර් ලක්ෂ 2ක් පමණ එක් වූ බව වාර්තා වී ඇත.
ගොවීන් එකතු වී සිටින්නේ ඉන්දියාවේ පාලක පක්ෂය BJP ආණ්ඩුව සම්මත කළ කෘෂිකාර්මික පනත් සංශෝධනය අවලංගු කරන මෙන් විරෝධතා උද්ඝෝෂණයක් කරමින්ය. දැනට මාස 03කට ආසන්න කාලයක් තිස්සේ අදානි සමාගම ප්‍රධාන කෘෂි සමාගම් එරට ඉඩම් කොල්ලයකට සූදානම් වෙමින් ඉන්දියාවේ ඉඩම් නීති පවා සංශෝධනය කිරීමට උත්සාහ දරමින් ඇතැයි පවසමින් එරට සුලු ගොවියන්ද මාරාන්තික අරගලයක නිරතවෙමින් සිටින අතර ඒ හේතුවෙන් ගොවියන් 50කට ආසන්න ප්‍රමාණයක් මරණයට පත්වී විශාල ගොවීන් සංඛ්‍යාවක් තුවාල ලබා තිබුණි.
ඉන්දියාවේ යෝජිත නව කෘෂි නීතිවලට විරෝධය දක්වමින් ගොවීන් දැවැන්ත ට්‍රුක්ටර් රථ පෙළපාලියක් සංවිධාන කරන්නට යෙදුණේ මේ අතරය. යෝජිත කෘෂි නීති අත්හිටුවීමට ඉන්දීය රජය කැමැත්ත පලකර තිබුණද ගොවීන් පවසන්නේ එම යෝජනා සියල්ලම හකුලාගත යුතු බවයි.

මෙම පනත් සංශෝධනය ගැන කෙටියෙන් පවසනවා නම් එය කෘෂි නිෂ්පාදන අලෙවිය පුද්ගලීකකරණය කිරීමකි. එනම්, තම කෘෂි නිෂ්පාදන අලෙවිය ගොවියා විසින්ම සිදුකිරීමට ඉඩ සැලසීමකි. මෙම පනත් සංශෝධනය බැලූ බැල්මට කෘෂි නිෂ්පාදනවලට හොඳ මිලක් ගෙන දෙන බව මුලින් පෙනුණද ගොවීන් මෙයට විරුද්ධ වීමටද සාධාරණ හේතූන් ඇත.
දැනටමත් ඉන්දියානු රජය කෘෂි සමාගම්වල ග්‍රහණයේය. කෘෂි නිෂ්පාදන ගොවියා විසින්ම විකුණාගැනීමට ඉදිරිපත් කළ විට එම නිෂ්පාදන සඳහා මිලක් නියම කරනු ඇත්තේද එම සමාගම්ය. මෙය ගොවියාගේ ශ්‍රමය කොල්ලකෑමට සමාගම්වලට දොර විවෘත කර දීමක්ය. කෘෂිකර්මාන්තය තවදුරටත් නිදහස් වෙළඳපොළට විවෘත කිරීමට උත්සාහ කරන නීති, ඉකුත් සැප්තැම්බර් මාසයේ පාර්ලිමේන්තුව වෙත එද්දීම මෙම විරෝධතා ඇවිළී ගියේය.
ඉන්දියානු ගොවි විරෝධතා උද්ඝෝෂණය ආරම්භ කළෝ පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන්ය. තම ඉල්ලීම්වලට සාධාරණ පිළිතුරක් ඉල්ලා ඔවුහු පාරට බැස්සෝය. ගමනාගමනය අවහිර වුණි. උද්ඝෝෂණය මැඩලීමට පොලිස් හමුදා යොදවන ලදී. පාලකයින්ගෙන් ලැබුණ නියෝග පොලිස් හමුදාව ක්‍රියාත්මක කළේය. පොලිස් හමුදා මුගුරු ගොවීන්ට විරුද්ධව එසැවුණි. වතුර කාලතුවක්කු, කඳුළු ගෑස් ප්‍රහාරද එල්ලවුණි. එහෙත් උද්ඝෝෂණය ඉදිරියටම ගමන් කරන්නට වීය.
තමන්ට සාධනීය පිළිතුරක් ලැබෙනතුරු නව දිල්ලි අගනුවරින් පිට නොවන බවට ගොවීන් සපථ කර ඇත. ඔවුන් මාස හයකට ප්‍රමාණවත් ධාන්‍ය හා වියළි ආහාර ගෙනැවිත් ගබඩාකර ඇත. උද්ඝෝෂකයින්ට දිනපතා ආහාරපාන සැපයේ. සනීපාරක්ෂක පහසුකම්ද සලසා ඇත. වඩාත් අපූරු කාරණාව නම් එකම බිමක උද්ඝෝෂණකයින්ද ඔවුන් මැඩලීමට යොදවූ පොලිස් හමුදාවද නැදෑයින් මෙන් එක්ව සිටීමය. ගොවියෝ තමන්ට ගහන්නට ආ පොලිස් හමුදා නිලධාරීන්ටද කෑමබීම බෙදූහ.