2021 ජනවාරි 30 වන සෙනසුරාදා

චීනයේ රන් පතලක කඳුළු!

 2021 ජනවාරි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 65

චීනයේ ෂැන්ඩොං පළාතේ රන් ආකරයක සිදුවූ පිපිරීමකින් එහි සේවකයින් 9 දෙනෙකු ඒ තුළ සිරවී මියගොස්  තිබිණි. හූෂාන් ලෙස හැඳින්වෙන රන් ආකරය තුළ පසුගිය ජනවාරි 10 වැනිදා පිපිරීම සිදුවීය. මේ පිපිරීම හේතුවෙන් වැසීගිය රන් පතලේ  පොළොව අභ්‍යන්තරයේ හිර වී සිටි කම්කරුවන් ගෙන් 11 දෙනෙක් මුදාගත් නමුත්, අනතුරුව තවදුරටත් පොළොව යට සිරවී සිටි 9 දෙනකු මියගොස් සිටියදී සොයාගෙන තිබේ.

තවත් අයෙකු අතුරුදහන් වී සිටින අතර කෝමා තත්ත්වයේ පසුවූ අයෙක් මියගොස් ඇතැයි යාන්තායි නගරයේ නගරාධිපතිවරයා තහවුරු කළේය. 

ඉරිදා සවස් භාගයේදී කම්කරුවන් 11 දෙනකු මුදාගැනීමත් සමඟ තවදුරටත් හිරවී සිටින අය සෙවීමේ මෙහෙයුම් නතර නොකළ නමුත් අතුරුදහන්ව සිටි අනිත් පිරිස සොයා ගන්නා විට මියගොස් සිටි බව නගරාධිපති චෙන් ෆෙයි කීවේය. බ්‍රහස්පතින්දා ව විට මියගොස් සිටි කම්කරුවා සහ මියගොස් සිටි අනිත් කම්කරුවන් 9 දෙනාගේ සිරුරු පතලෙන් ඉවතට ගෙනැවිත් තිබුණේ මුලු ප්‍රදේශයම දුක් කඳුළින් නහවමිනි.