
ඊශ්‍රායල ආණ්ඩුව නැවතත් අවුල්වන ලකුණු පහළ වී තිබේ. එරට කම්කරු පක්ෂය අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රමුඛ රජයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවට වාර්තා වීමත් සමගය.
කම්කරු පක්ෂ නව නායකත්වයට පත් මෙරාව් මයිකලි ඊශ්‍රායලයේ නෙතන්යාහු ප්‍රමුඛ දූෂිත රජයත් සමඟ කටයුතු නොකිරීමට තම පක්ෂය තීරණය කළ බව ගුවන් විදුලි සාකච්ඡාවකදී අවධාරණය කර තිබේ.
කම්කරු පක්ෂයේ හිටපු නායක අමිර් පෙරෙට්ස් සහ සෙනෙට් සභික ඉට්සික් ෂ්මුලි ඊශ්‍රායල රජයේ අමාත්‍යධූරවලට පත්වීමත් සමඟ පෙරෙට්ස් ගේ අනුප්‍රාප්තිකයා වශයෙන් පත්වුයේ ඇයයි. හිටපු නායකයා පාලක පක්ෂය සමඟ සන්ධාන ගතවීමට මුලින්ම විරෝධය පළකළ තැනැත්තියකි මයිකලි. දැන් පක්ෂයේ නායකත්වයට පත්ව සිටින ඇය, තමා ගන්නා පළමු පියවර දූෂිත ඊශ්‍රායල රජයෙන් ඉවත්වීම බව ඈ අවධාරණය කර තිබුණි.
එමෙන්ම පෙරෙට්ස් සහ ෂ්මුලි ඉදිරියටත් පාලක පක්ෂය සමඟ සන්ධාන ගතව සිටීමට තීරණය කරන්නේ නම්, ඔවුන් තවදුරටත් කම්කරු පක්ෂයේ සාමාජිකයින් සේ නොසලකන බවද මයිකලි වැඩිදුරටත් කියා තිබේ. කම්කරු පක්ෂයට සහාය දැක්වීමට කැමති අනෙකුත් පක්ෂ නායකයින්ගේ යෝජනාවලට තමා සවන් දෙන්නට සූදානම් නමුත් ඒවා පිළිගැනීමට තරම් ඉක්මන් නොවන බවද ඈ එම සම්මුඛ සාකච්ඡාවේදී සඳහන් කළාය. එළඹෙන ඉරුදින ඊශ්‍රායල ව්‍යවස්ථාදායකයේ (සෙනෙට්) කම්කරු සාමාජිකත්වය පිළිබඳ තීරණයක් ගැනීමටද ඈ සූදානමින් සිටී. මේ අනුව නෙතන්යාහු රජය නැවත අඩපණ වීමට නියමිතය.
ඊශ්‍රායලයේ නව මහා මැතිවරණය 2021 මාර්තු 23 වැනිදා පැවැත්වීමට නියමිතය. බරපතල වංචා දුෂණ චෝදනාවලට මුහුණදී සිටින අගමැති බෙන්ජමින් නෙතන්යාහු මෙවරත් මහා මැතිවරණය ජයගෙන හයවන වරටත් බලයට පත්වීමේ අපේක්ෂාවෙන් සිටී.
එරට වර්තමාන සභාග ආණ්ඩුව පසුගිය අප්‍රේල් මාසයේ පිහිටුවන ලද අතර 2021 වසරේ නොවැම්බර් මාසයේදී අගමැති නෙතන්යාහු විසින් තම අගමැති ධුරය තම සභාගයේ අනෙක් ප්‍රධාන පක්ෂයේ නායකයා වන බෙනී ගෑන්ට්ස් හට ලබාදීමට මීට පෙර ගිවිස ගෙන තිබිණි. නමුත් එය එසේ වූයේ නැත. අගමැති නේතන්යාහු බලය අත්නොහරින පාලකයෙක් ලෙස ප්‍රකටය.