
ඉක්මනින් වැඩකළ යුතුව ඇතැයි කියමින් අමෙරිකාවේ 46 වැනි ජනාධිපති ජෝ බයිඩන් සිය ධුරයේ වැඩ ඇරුඹුවේ ට්‍රම්ප් යුගයේ වත් පිළිවෙත් සියල්ල උඩු යටිකුරු කරමිනි. ඔහුගේ ප්‍රධාන රාජකාරිය වූයේ මුල් දිනයේ මුල් හෝරාව ගතවන්නටත් පළමු ට්‍රම්ප් පනවා තිබූ විධායක නියෝග සහ නිවේදන අණපනත් 17ක් බල රහිත කිරීමය.
ඒ අතර මුස්ලිම්වරුන් සහ අප්‍රිකානුවන්ට එරෙහිව රටට ඇතුළුවීමට පනවා තිබූ තහනමද විය. ඔහු පැරිස් පරිසර සම්මුතියට නැවත අමෙරිකාව එකතු කළේය. 46 වැනි ජනාධිපතිවරයා ලෙස දැන් තමාට පැවැරී ඇති බරපතළම රාජකාරිය වන කොවිඩ් 19 මගින් රටවැසියා රුකගැනීමේ කාර්යයට ඔහු නොපමාව අතගැසුවේ ඒ කටයුතු සම්බන්ධයෙන් නව විධායක නියෝග 10කට අස්සන් තබමිනි. වසංගතයෙන් ගොඩ එමු යනුවෙන් කී ඔහු යහපත ළඟාවීමට පෙර අසීරුම අවස්ථාවන්ට මුහුණ දීමට සිදුවිය හැකි බවට අනතුරු ඇඟවූයේය. දැනටමත් මිලියන 245+කට ආසන්න අමෙරිකානුවන් පිරිසක් ආසාදිතව 406,000+ මියගොසිනි. ලබන මාසය අග වනවිට මරණ සංඛ්‍යාව මිලියන බාගයක් පමණ ඉහළ යනු ඇතැයි ඔහු කීවේය. ඔහු සිය ධුරයේ පළමු දින 100 ඇතුළත මිලියන 100ක් එන්නත්කරණයට ලක්කරන බවට දැනටමත් කියා තිබේ. ඇදවැටීම් පසුබැසීම් සිදුවිය හැකි නමුත්, සියලුම විද්‍යාඥයන්ට තමන්ට රිසි සේ කටයුතු කිරීමට දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොර නිදහස ලබාදෙන බව ඔහු කියා තිබුණි. මේ වනවිටත් මිලියන 16.5කට අමෙරිකාවේ එන්නත් විද හමාරය. ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ නැවත එකතුවීමටද බයිඩන් බලාපොරොත්තුව සිටී.
බයිඩන් යුගය රටේ වැඩකරන ජනතාවට සහනදායී යුගයක් වනු ඇති බවට කලින්ම මතයක් පැතිර තිබිණි. ආර්ථික සහන සඳහා මාර්ගෝපදේශ ඉදිරිපත් වීමට ඒ අනුව නියමිතය. වසංගතය සහ හිතුමගේ පාලනය තුළ ඇද වැටී ඇති ආර්ථිකයට ඩොලර් ට්‍රිලියන 1.9ක තල්ලුවක් දෙන්නට ඔහු සැලසුම් ඉදිරිපත් කර තිබේ. ඔහුගේ යෝජනාවන්ට කොංග්‍රස් අනුමැතිය ලැබුණහොත් සියලුම අමෙරිකානුවන්ට ඩොලර් 1,400ක දීමනාවක්ද ලැබෙනු ඇත. පාසල් විධිමත්ව නැවත විවෘත කිරීමටද බයිඩන් පොරොන්දු වී තිබේ. ට්‍රම්ප් පනවා තිබූ බදු කැපිලි සියල්ල නවතා දමන්නටද ඔහු නියෝග කළේය. ඒ බදු ලොක්කන් තර කරන සොක්කං නට්ටං කරන බදු ලෙස ඔහු හඳුන්වා දෙයි.
දින 30ක කාලයක් තුළ පැරිස් සම්මුතිය හා නැවත ඇමෙරිකාව ඈඳීමට කටයුතු කරන්නට යන ඔහු කොංග්‍රසය හා එක්වී 2050දී කාබන් වහනයෙන් තොර අමෙරිකාවක් බිහිකිරීමට අවශ්‍ය පරිසර අණපනත් සැකසීමටද බලාපොරොත්තු වෙයි. ආන්දෝලනාත්මක ව්‍යාපෘතියක් වූ KeyseoneXL තෙල් නළ ව්‍යාපෘතියට තිත තබා එයට දී තිබූ අවසරය නැවත කැඳවීමට ඔහු ක්‍රියා කළේ කාගේත් විමතිය වඩවමිනි.
ට්‍රම්ප් යුගයේ සංක්‍රමණ නීති උඩු යටිකුරු කළ ඔහු සියලු ගමන් තහනම් ඉවත් කළේය. එයින් නොනැවතී මිලියන 11ක් පමණ වන ලියාපදිංචි නොවූ සංක්‍රමණික පිරිසට ඉක්මන් පුරවැසිභාවය ලබාදීම සඳහා පනතක් කොංග්‍රසය වෙත අනුමැතියට යවා හමාරය.

ජෝ බයිඩන් සිය ඕවල් කාමරයද තමන්ට රිසිසේ වෙස් පෙරළා තිබුණි. මෙතෙක් එහි තිබූ ඇන්ඩෘ ජැක්සන්ගේ රුව වෙනුවට ස්මිත් ගේනියන් ආයතනයෙන් ණයට ගත් ජොසෙප් ඩුප්ලේසිස් නිර්මාණය කළ බෙන්ජමින් ෆ්‍රුන්ක්ලින්ගේ ආලේඛ්‍ය ඔහු තෝරාගෙන තිබේ. සඳෙන් ගෙනා පස් ගල් සිහිවටන පෙළක්ද එහි වෙයි. මේ කාරණා දෙකෙන්ම බයිඩන්ගේ විද්‍යාත්මක ලැදියාව පිළිබිඹු වේ.
සිවිල් ක්‍රියාධරයකු වූ සිසාර් චාබිස්ගේ උඩු කය මුර්තියක්ද කාමරයේ ඔහුගේ මේසය පසුපස පවුලේ ඡායාරූප අතර දක්නට හැකිය. අමෙරිකාවේ ගොවිජනතාව වෙනුවෙන් හඬ නැගූ සියාර් චාවේස් යනු ලතින් ඇමෙරිකානුවෙකි. තවත් සිවිල් ක්‍රියාධරයන් දෙදෙනෙකු වන මාටින් ලූතර් කිං සහ රොබර්ට් කෙනඩිගේ උඩුකය මූර්තියද එහි දක්නට හැකිය.
ඔබාමා සහ ක්ලින්ටන් යුගයේද ඕවල් ඔෆීසියේ අලංකාරයට එක්කර තිබූ තෙල්සායම් චිත්‍රයක් වන Avenue in the Rain නැවත එය තිබූ තැනටම පැමිණ තිබේ.
ඕවල් ඔෆීසියේ තවත් දක්නට ඇති මූර්ති අතරට රෝසා පාර්ක්ගේ එල්ගෝර් රෑස්වෙල්ට්ගේ මෙන්ම ඇලන් හවුසර් සහ අසුපිට නැගගත් අපාචෙ රතු ඉන්දියානු ගෝත්‍රිකයකුගේ මූර්තිද තබා ඇත්තේ අමෙරිකාවේ සෞභාග්‍යය සඳහා වූ ජනතා ක්‍රියාකාරින් නැවත පෙරමුණට ගනිමිනි. මේ අතර වින්ස්ටන් චර්චිල්ගේ උඩුකය පිළිරුව ඉවත්කර තිබීම විශේෂ කරුණකි. නව ජනාධිපතිවරයාගේ වැඩ මේසය මත කැපී පෙනෙන්නට ඇත්තේ පසෙකින් වූ සුදු පීරිසි කෝප්ප ජෝඩුවක් සහ සාම්ප්‍රදායික පෑන් හෝල්ඩරයකි. ට්‍රම්ප්ගේ කාලයේ මෙන් රන්වැඩ දැමූ විවිධාකාර වටිනා පෑන් වර්ග හෝ අරුමෝසම් මාර්කර් පෑන් එහි දක්නට නැත.

ට්‍රම්ප් මෙතෙක් භාවිත කළ රතු දුඹුරු විධායක අසුන වෙනුවට අඳුරු දුඹුරු පැහැති සම් පුටුවකි. ක්ලින්ටන් යුගයේ සමහර අරුමෝසම් නැවත කැඳවීමට බයිඩන් කටයුතු කර තිබුණේ තද රන් පැහැ තිර රෙදි සහ මල් සහිත බිම් අතුරුණුවක්ද එක්කර ගනිමිනි. ට්‍රම්ප් යුගයේ කැපී පෙනෙන ලෙස දක්නට ලැබුණු හමුදා ධජ පතාක ඉවත්කර තිබුණි. ට්‍රම්ප්ගේ එකතුවට අයත්ව තිබූ කාසි එකතුවද ඉවත්ව තිබූ අතර 46 වැනියා පිටුපසින් දක්නට ලැබුණේ ඔහුගේ පවුලේ උදවියගේ විවිධ අවස්ථා දක්වන ආදරණීය පින්තූර පෙළකි. ආදර බර තාත්තා කෙනෙකු හැටියට ප්‍රසිද්ධ බයිඩන්ගේ, මියගිය පුතු බිසූගේ රුවද එතැනට එක්ව තිබුණි. අමෙරිකාවට සිය ඉපැරුණි අභිමානය නැවත ළඟාවන ලකුණු බයිඩන්ගේ ආගමනය සනිටුහන් කර තිබුණි. අමෙරිකාවේ 46 වැනියා තද නීතිකාරයෙකි. ගෞරවණීය සහ අන් අයට ගෞරවය දක්වන මිනිසෙකි. ආදරණීය තාත්තා කෙනෙකි.
සංස්කරණය:
සුගත් පී. කුලතුංගආරච්චි