2020 දෙසැම්බර් 05 වන සෙනසුරාදා

එංගලන්තේ ලක්ෂ 4කට අමුතු නත්තල් තෑග්ගක්

 2020 දෙසැම්බර් 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 112

රටක් තුළ සිවිල් භාවිතයට අනුමැතිය ලද ලොව ප්‍රථම කොවිඩ්-19 එන්නත බවට ෆයිසර් බයොඑන්ටෙක් එන්නත වෛද්‍ය ඉතිහාසයේ  ඉකුත් සතියේ වාර්තාගතවිය. ඒ එංගලන්තය තුළ එම එන්නත භාවිතා කිරීම සඳහා එරට සෞඛ්‍ය නියාමන ඒජන්සියේ MHRA අනුමැතිය ලැබීමත් සමගිනි. ඒ සමඟ කොවිඩ්-19 එන්නතක් සිවිල් භාවිතයට මුලින්ම අනුමැතිය ලබාදුන් බටහිර රට බවට එංගලන්තය පත්ව ඇත. නව එන්නත විදීමේ කටයුතු ඉදිරි සතියේදී ඇරඹෙන්නට නියමිත බව සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් කීය. ඒ අනුව තෝරා ගත් 400,000කට මේ එන්නත මුලින්ම ලබාදෙන්නට නියමිතය.

එක් අයෙකුහට මේ ෆයිසර් බයොඑන්ටෙක් එන්නත මාත්‍රා 2ක් දින 21-22 අතර කාලයකදී  ලබාදිය යුතුව ඇත. ඒ අනුව එරටට ලැබෙන මුල්ම මාත්‍රා 800,000ක් වූ තොගය ප්‍රමුඛතාව අනුව තෝරාගත් 400,000කට එන්නත් කිරීමට කටයුතු සුදානම්ව ඇත. මෙම එන්නතේ  එක් මාත්‍රාවක් සඳහා එංගලන්තය ලංකාවේ මුදලින් 3607.5ක් (ඩොලර් 19.5ක්) පමණ වැයකර තිබේ. එංගලන්තය කලින්ම එන්නත් මිලියන 40ක් වෙන්කරවාගෙන තිබුණේ එහි සාර්ථක බව මුල් සායනික 
පර් යේෂණ වාර්තා මගින් එළිදැක්වූ වහාමය. කලින්ම එන්නත ලැබෙන අයගේ අනුපිළිවෙළ ලැයිස්තුව එරට එන්නත්කරණය සහ ප්‍රතිශක්තිකරණය සඳහා වූ ඒකාබද්ධ කමිටුව මගින් අද හෙටම ප්‍රකාශයට පත්කරන්නට නියමිතය.

රටපුරා රෝහල් 50ක් මේ වනවිටත් එන්නත් තොග පිළිගැනීමට ලකලෑස්ති වී හමාරය. සියයට 95ක සඵලතාවයක් දක්වා ඇති මේ එන්නත් ගබඩා කිරිමට අවශ්‍ය සෙල්සියස් අංශක 70Cට අඩු පහසුකම් සහිත රෝහල් සඳහා බෙදාහැරීමේදී ප්‍රමුඛතාව ලැබී ඇත. එංගලන්තවාසීන්ට අපූරු නත්තල් තෑග්ගක් බඳු වූ මේ එන්නත් තෑග්ග මුලින්ම ලැබෙන වාසනාවන්තයන් වන්නේ සෞඛ්‍ය අංශ සේවකයන් සහ වැඩිහිටි නිවාසගත පුද්ගලයන්ය.

 

සංස්කරණය: සුගත් පී. කුලතුංගආරච්චි