නාසා ආයතනය සමග ස්පේස් එක්ස් අභ්‍යවකාශ සවාරි ආයතනය වාණිජ මට්ටමේ උඩුගුවන් සංචාරක ටැක්සි සවාරි ඉකුත් සතියේ නමෝවිත්තියෙන්ම ඇරඹුවේය. එම ඓතිහාසික ගමන ගිය සංචාරක පිරිස හැඳින්වුණේ ස්පේස් එක්ස් මුල් සංචාරක පිරිස හෙවත් - SpaceX Crew-1, හැටියටය. ලෝකයේ මුල්වරට නාසා අභ්‍යවකාශගාමීන් 3 දෙනකු සහ ජපාන අභ්‍යවකාශගාමියෙකු සාර්ථකව උඩුගුවනට රැගෙන යමින් මේ වාණිජ සංචාරක ගමන් වැඩපිළිවෙළ නාසා ආයතනය සමග ස්පේස් එක්ස් අරඹන්නට යෙදුණි.
මේ මුල්ම ටැක්සි ගමනට සහභාගී වූ අභ්‍යවකාශගාමීන් ලෙස නාසා ආයතනයේ ෂැනොන් වොල්කර් - Shannon Walker, වික්ටර් ග්ලෝවර් - Victor Glover, මයිකල් හොප්කින්ස් - Michael Hopkins, සහ ජපාන අභ්‍යවකාශ ඒජන්සියේ - Japanese Aerospace Exploration Agency (JAXA), සොයීචි නොගුචි - Soichi Noguchi ඉතිහාස ගතවනු ඇත.
උඩුගුවනට ගිය මංගල ටැක්සි ගමනට යොදාගත් නැවත නැවතත් භාවිතයට ගතහැකි මේ යුගයේ විශාලතම හා ප්‍රබලතම රොකට්ටුවක් වන Falcon 9 වගේම උඩුගුවනට මගීන් රැගෙන යන Dragon නමැති යානාව ස්පේස් එක්ස් සමාගමේ නිෂ්පාදනයකි. ස්පේස් එක්ස්- SpaceX යනු අනාගත ලෝකයේ විශ්ව සංචාරක - සවාරි සංවිධානය කරන්නටම පිහිටුවා ඇති ප්‍රමුඛ පෙළේ ආයතනයයි. එය එලෝන් මස්ක් කියන අලුත්දේ හිතන කෝටිපති ව්‍යාපාරිකයාට අයත් මුල්පෙළේ ආයතනයකි.
දැන් 2020 නොවැම්බර් 16දා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය කරා ගිය මේ මංගල ගමනත් සමග නාසා ආයතනයේ අභ්‍යවකාශගාමීන් සහ භාණ්ඩ උඩුගුවනට රැගෙන යාමේ ටැක්සි සේවාව වාණිජ මට්ටමින් දිගමට පවත්වාගන යාමේ අවස්ථාව ස්පේස් එක්ස් ආයතනයට හිමිව තිබේ. ඒ අනුව මෙය ඔවුන්ගේ ඩ්‍රුගන් ටැක්සි රථයේ මුල්ම කුලී ගමනය. නමුත් ස්පේස් - එක්ස් මේ ගමන් ඔස්සේ ලබන අත්දැකීම් මගින් පන්නරය ලබන්නෙ 2024දී සඳ වෙත නැවත ගොස් එහි මුල්ම ජනාවාස බිහිකිරිමට අවශ්‍ය දැනුම රුස්කර ගන්නටය. එතැනින් නොනැවතී අඟහරු වෙත මුල්ම මිනිසා රැගෙන යන්නටත් රතුග්‍රහයා මත ජනාවාස තනන්නටත් මුල්අඩිතාලම වැටෙන්නෙ මේ මංගල ගමන ඔස්සේය.