සිය මැතිවරණ පරාජය පිළිගැනීමට ජනාධිපති ට්‍රම්ප් තාමත් හිත හදාගෙන නැත. ධවල මන්දිරය සාමයෙන් බාරදී සමුගෙන යාමට ඔහු සුදානම් බවක්ද පෙනෙන්නට නැත. යන යකා කොරහත් බිඳගෙන යන්නාක් සේ සිය අනුප්‍රාප්තික ජෝබයිඩන්ට අවුල් ජාලයක් වු පාලනයක් බාරදීම සඳහා ඔහු ඩෙඟා නටමින් සිටියි. මේ කාරණා හේතුවෙන් මාරාන්තික අනතුරකට මුහුණ පා සිටින්නේ අමෙරිකාවේ හුදී ජනයාය. මේ වනවිට පවතින ශීත කාලගුණ තත්ත්වයත් සමග නැවත වරක් එරටින් වාර්තා වන දෛනික කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව ශීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතී. කොවිඩ් 19න් ජනතාව ගලවා ගන්නට සැලසුම් තනා ඇති බයිඩන් හට ඒවා ක්‍රියාවට නැංවීමට අවශ්‍ය සහාය ට්‍රම්ප් ලබාදී නැත. ඔහු පසුගිය සතියේ අගද සිය සුපුුරුදු ට්විටර් පාරම්බෑම සිදුකර තිබුණේ “මා ජනාධිපතිවරණය ජය ගත්තා” යැයි කියමිනි.
අමෙරිකාවෙන් මේ වනවිට වාර්තා වන කොවිඩ් ආසාදිතයින් ගණන 11,873,727ක් වන අතර වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 256,254කි. සිය ආගමනයට ඩොනල්ඩ් ට්‍රම්ප් තවදුරටත් බාධා කරන්නේ නම්, කොරෝනා වෛරසය නිසා අමෙරිකානු ජනතාවට තවදුරටත් ජීවිත අහිමිවිය හැකි බව ජෝ බයිඩ්න් අනතුරැ අඟවා තිබේ.
ජෝ බයිඩ්න් කියා ඇත්තේ කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට නම්, දෙපාර්ශ්වයේ සම්බන්ධීකරණයක් අවශ්‍ය බවයි. සම්බන්ධීකරණයෙන් කටයුතු නොකරන්නේ නම්, තවත් බොහෝ මිනිසුන් මිය යා හැකි බවද ඔහු පවසා ඇත. රට පුරා කොරෝනා වෛරසය මර්දනය කිරීම සඳහා එන්නත් බෙදාහැරීම අති දැවැන්ත කාර්යයක් වන අතර ඒ සඳහා තම කණ්ඩායමට ලබන ජනවාරි 20 වැනිදා තෙක් බලා සිටීමට සිදුව ඇති බවද ඔහු පෙන්වා දී තිබේ.
මේ කිසිවක් නෑසූකන්වැ හිතුවක්කාර ලෙස ක්‍රියාකරන ට්‍රම්ප් සිය අනුප්‍රාප්තිකයා අමාරැවේ දමන මෙහෙයුම් අරඹා ඇත්තේ ලෝක සාමයද අනතුරට ලක්කරමිනි. ඉරාකයෙන් සහ ඇෆ්ගනිස්ථානයෙන් ඇමෙරිකානු හමුදා ඉවත්කර ගැනීමත්, ඉරානයේ න්‍යෂ්ටික බලාගාරවලට පහරදීමට ඇති සැලසුමත් ඒ අතර ප්‍රධානය.
අවුරුදු 244ක ඇමෙරිකානු ඉතිහාසයේ බලයේ සිටින ජනාධිපතිවරයෙක් ජනාධිපතිවරණයක් පරාජය වීමෙන් පසු ධවල මන්දිරයෙන් පිටවයාම කිසිදාක ප්‍රතික්‍ෂේප කරනු ලැබ නැත. විධිමත්, නීතියට අනුකූලව සහ සාමකාමී බල හුවමාරුව ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ මුල්බැසගත් සිද්ධාන්තයකි. නමුත් ට්‍රම්ප් මේ සම්ප්‍රදාය බිඳ තමා දිගටම බලයේ රැඳී සිටින බවට ඉඟිකර හමාරය. මෙවන් තත්ත්වයක් යටතේ ට්‍රම්ප් ධවල මන්දිරයෙන් ඉවතට ඇද දැමීමට එක්සත් ජනපද ෆෙඩරල් නීති ක්‍රියාත්මක කිරීමේ බලකායට අයත් මාර්ෂල්වරුන්ට හෝ ජනාධිපති රහස්‍ය ආරක්‍ෂක අංශයට සිදුවනු ඇත. ජනාධිපති ආරක්ෂකයන්ටම ජනාධිපති ධවල මන්දිරයෙන් එළියට ඇද දමන්නට සිදුවුවහොත් එය ඉතිහාසගත ඛේදවාචකයක් බවට පත්වෙනු නියතය.