2020 නොවැම්බර් 14 වන සෙනසුරාදා

කොවිඩ් 19 වසංගතය මැද ලෝක යුද්ධයක්!

 2020 නොවැම්බර් 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 187

ලොවපුරා දැඩිව පැතිර යන කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මතුවෙමින් ඇති  ආර්ථික අර්බුදය සහ ගෝලීය අවිනිශ්චිතතාව හේතුවෙන් ඉදිරියේදී ලෝක යුද්ධයක් පවා ඇතිවීමේ අවදානමක් පවතින බව බ්‍රිතාන්‍යයේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී නික් කාටර් අනතුරු අඟවා සිටියි.

ඔහු පෙන්වා දී ඇත්තේ කලාපීය මතභේද උත්සන්න වීම සහ ඔවුනොවුන් අතර විනිශ්චයේ දෝෂයන් අවසානයේදී කොවිඩ් 19 මගින් ඇතිකර ඇති පීඩනයත් සමඟ  පුළුල් ගැටුමකට තුඩුදිය හැකි බවයි.
මේ අප ජීවත්වන්නේ ලෝකය ඉතා අවිනිශ්චිත හා කනසල්ලට පත්ව ඇති මොහොතකය. ගෝලීය තරගකාරීත්වය අප සියලුදෙනාගේ ජීවිතවල අංගයක් බවට පත්ව ඇත. මේ වනවිට පවතින කලාපීය ගැටුම් සහ ආර්ථික අවිනිශ්චිතතාව ඉදිරියේදී ඕනෑම මොහොතක තීව්‍ර වී පුපුරා යාමේ දැඩි හැකියාවක් ඇතැයි බ්‍රිතාන්‍යය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ප්‍රකාශ කර සිටියේය.

මෙය ලෝක යුද්ධයක් බවට පත්වීමේ අවදානමක් ඇත්ද යන්න ගැන විමසූ විට ඔහු කියන්නේ එබඳු විශාල අවදානමක් ඇති බවත් එම අවදානම පිළිබඳව ලෝකයම  දැනුවත්විය යුතූ බවත්ය. ඕනෑම මොහොතක යුද්ධයකට යෑම සාධාරණ දෙයක් කියා මිනිසුන් සිතීම විශාලම අවදානම බවත්, යුද්ධයේ භිෂණය ගැන අමතක නොකළ යුතුව ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

පසුගිය සියවස් දෙක දෙස නැවත හැරී බැලුවහොත් වැරදි අර්ථකථනයන් හේතුවෙන් ලෝක යුද්ධ දෙකක් ඇතිවීම පැහැදිලිව පෙනී යන කරුණකි. එලෙස ඉතිහාසය යළි පුනරාවර්තතනය වීමට ඉඩ නොතැබීම වඩාත් වැදගත් යැයි බ්‍රිතාන්‍යයේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි නික් කාටර් අනතුරු අඟවා තිබේ.

 

සංස්කරණය: 
සුගත් පී. කුලතුංගආරච්චි