මොසැම්බික් රාජ්‍යයේ ඉස්ලාමීය ගරිල්ලන් විසින් පුද්ගලයන් 50 දෙනෙකුගේ ගෙල කපා මරාදමා ඇතැයි මොසැම්බික් මාධ්‍ය වාර්තා කරයි. අල් ෂබාබ් සන්නද්ධ කල්ලිය ලෙස තමන්ව හඳුන්වා ගන්නා මොවුන් මහ වනයක් මැද ගැමියන් විසින් පාපන්දු ක්‍රීඩා කිරීම සඳහා යොදාගත් එළිපෙහෙළි කළ ස්ථානයක් මෙම අපරාධය සිදුකිරීම සඳහා යොදාගෙන තිබේ.
මියගිය අය අතර පිරිමි ළමුන් 15 දෙනකු පමණ සිටි බව වාර්තාවේ. ඔවුන්ගෙන් සමහරු, දකුණු අප්‍රිකානු කලාපයේ පවතින පිරිමි ළමුන්ගේ වැඩිවිය පැමිණීමේ චාරිත්‍රයකට සහභාගි වෙමින් සිටි අය බවද හෙළි වී ඇත.
තමන්ව අල් ෂබාබ් යනුවෙන් හඳුන්වා ගත්තත් ඔවුන් IS කණ්ඩායමත් සමඟද සබඳතා පවත්වන බව වාර්තාගතය. දකුණු අප්‍රිකානු කලාපය තුළ IS සංවිධානය සිය ව්‍යාප්තිය සැලසුම් කරන්නේ මෙම සන්නද්ධ කල්ලි සමග බව විශ්වාස කෙරේ. ප්‍රධාන වශයෙන් මුස්ලිම් ජනගහනයක් ජීවත්වන මෙම පළාතේ මේ දක්වා ඇති වූ ගැටුම්වලින් 2,000ක් පමණ මියගොස් ලක්ෂ හතරකට අධික සංඛ්‍යාවක් අවතැන් වී තිබේ. ඉකුත්දා යාබද ගම්මානයකද මෙවැනිම ගෙල කපා දැමීම් කිහිපයක් වාර්තා විය. 2017 වසරේදී ඛණිජ තෙල් බහුල කාබෝ දෙලාග්දෝ පළාතේ සිදුවූ සමූහ ඝාතනද මෙම ගරිල්ලන් විසින් සිදුකර තිබුණේ ගෙළ කපා මරා දැමීම මගිනි.