අලුතෙන් අමෙරිකාවේ ජනාධිපති පුටුවට නම යෝජනා වී අති ජෝ බයිඩන් ජනවාරියේ දිවුරුම් දී සිය පදවිය ලත් කළ තමන් සිදුකරන්නට යන වෙනස්කම් ගැන මේ දිනවල කතාබස් කරයි. එවන් කතාබහක් අතරතුර සිය හිතමිතුරු හිටපු 44 වැනි ජනාධිපති බැරක් ඔබාමා එංගලන්තයේ තානාපතිවරයා ලෙස නම්කර යැවීමට තමන් සූදානම් බවට ඔහු ඉඟිකර තිබේ. මේ තීරණය එසේ සිදුවුවහොත් එංගලන්ත අගමැති බොරිස් ජොන්සන් අමාරුවේ දමන පියවරක් බවට පත්වනු ඇත.
බැරක් ඔබාමා රජයේ දෙවැනියා වූ බයිඩන් මේ දිනවල තමන්ගේ කාර්ය මණ්ඩලය තෝරා ගනිමින් සිටියි. සිය හිටපු ප්‍රධානියා මේ කියන අන්දමට ඔහු, ඉතා වැදගත් රාජ තාන්ත්‍රික ධුරයක් වන එංගලන්තයේ අමෙරිකානු රාජ්‍ය නියෝජිත තනතුරට පත් කිරීමට බොහොදුරට ඉඩ තිබේ. බ්‍රෙක්සිට් පළහිලව්ව මැද යන්තම් අළුගසා නැඟී සිටින එංගලන්තයේ යුරෝපයෙන් ඉවත්වීමේ ගිවිසුම ඉක්මවා යන ස්වාධීන හිතුවක්කාර ගනුදෙනු අමෙරිකාවේ අලුතෙන් පත්වූ ජනාධිපතිවරයාගේ විවේචනයටත් දැඩි අවධානයටත් ලක්ව ඇත. එසේම අගමැති බොරිස් කලින් 2012 දී බැරක් ඔබාමා ‘අඩ-කෙන්යානූවෙකු’ හා එහෙයින්ම එංගලන්ත විරෝධියෙකු ලෙස හඳුන්වමින් උපහාසයටද ලක්කර තිබේ. ඒ වින්සන්ට් චර්චිල්ගේ උඩුකය ප්‍රතිමාවක් ඕවල් කාමරයෙන් ඉවත් කිරීම සම්බන්ධ කාරණාවකදීය. එවකට බොරිස් ලන්ඩන් නගරාධිපතිවරයා විය. බයිඩන් සහ ඔබාමා එක පවුලේ සොහොයුරන් බඳුය. ඔබාමාට කළ අපහාසය ඔහු සුළුකොට තකන්නට ඉඩක් නැතැයි දේශපාලන විචාරකයෝ කියති. බයිඩන් ඉඟිකර ඇති ලෙසම කටයුතු සිදුවුවහොත් මෙවර ඔබාමාගේ රාජ්‍ය තාන්ත්‍රික ආගමනය බොරිස් අපහසුවට පත්කරන්නකි. බයිඩන් තැත් කරන්නේ ඔබාමා යොදාගනිමින් බොරිස්හට රාජතාන්ත්‍රික කනේ පහරක් ගසන්නට යැයි විවේචන මතුව ඇත. බයිඩන්ගේ පත්වීම එංගලන්තයට කිසිසේත්ම වාසිදායී නොවන බව පළපුරුදු එංගලන්ත දේශපාලන විචාරකයෝ පසුගිය සතියේම අනතුරු අඟවා තිබුණි.