මෑත ඉතිහාසයේ අමෙරිකාවේ පැවැති ඉතා ගැටුම්කාරී ජනාධිපතිවරණ විවාදයට ඉකුත් සතියේ ලොකයේම ඇස් යොමු විය. මේ ආන්දෝලනාත්මක විවාදයට ආවේ රිපබ්ලිකන් අපේක්ෂක ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් අපේක්ෂක හිටපු උප ජනාධිපති ජෝ බයිඩන්ය. අමෙරිකානු ජනාධිපතිවරණය එලඹෙන නොවැම්බර් 3 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ. මේ ඔවුන් අතර පැවැති මංගල විවාදයයි. විවාදය පැවැත්වුණේ ඔහායෝ ප්‍රාන්තයේ ක්ලෙවුලන්ඩ් ප්‍රදේශයේ ශාලාවකය. මිනිත්තු 90 ක් පුරා පැවති විවාදය බෙහෙවින් උණුසුම් වාතාවරණයක් ගෙන තිබූ අතර එය, වසර ගණනාවකට පසු එරට ජනාධිපතිවරණ අපේක්ෂකයන් දෙදෙනෙක් අතර පැවති කලහකාරී මෙන්ම අවුල්සහතම විවාදය බවට ඉතිහාස ගත විය.
මෙම විවාදයට මාතෘකා වූයේ ශ්‍රේෂ්ඨාධිකරණය, කොවිඩ් වසංගතය, ආර්ථිකය වැනි ප්‍රධාන කරුණු හයකි. මේ එක් එක් මාතෘකාවකට මිනිත්තු 15 බැගින් කාලය වෙන්ව තිබුණි. විවාදය මෙහෙයවනු ලැබුවේ ෆොක්ස් නිව්ස්හි පලපුරුදු නිවේදක ක්‍රිස් වොලස්ය. එහෙත් මේ නායකයන් අතර පොරයේදී ඔහු අසරණව සිටියේය. නැවතත් බලය ලබා ගැනීමේ තිර අදිටනින් සටන් වදින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මුඛරි කට මෙහිදීද උපහාසය සහ අපහාසය හොඳ පදමට යොදමින් භාවිතයට ගත්තේය. ජෝ බයිඩන්ද තමන් තකට තක හරියන තරගකරුවෙක් බව සනාථ කළේය. මෙතෙක් අමෙරිකා ජනාධිපති අපේක්ෂකයන් අතර විවාදයකදී දක්නට නොලැබුණු අන්දමේ දරුණු කතාද මෙහිදී අසන්නට ලැබුණි. සාවධානව සවන් දී පිළිතුරු දෙන විවාදයක් වෙනුවට දෛදෙනාම සිය මතය ගෙන හැර දැක්වීමට එකිනෙකා අභිබවා කතා කිරීමට උත්සාහ කරනු දක්නට ලැබුණි.
ජනාධිපති ට්‍රම්ප්, ප්‍රතිවාදී අපේක්ෂක ජෝ බයිඩන් රට කරවන්නට වයස වැඩි බව කීවේය. බයිඩන්ගේ පුතා මත්ද්‍රව්‍ය භාවිතා කරන්නෙකු බව කීවේය. මෙලෙස විවාදය මැදදී ඔහු අවස්ථා 73කදී ජෝ බයිඩන්ට බාධා කර තිබුණි. එකට එක කී බයිඩන් එක් අවස්ථාවක ට්‍රම්ප්ට කට පියාගන්නා ලෙස තරවටු කළේය. තවත් අවස්ථාවක ට්‍රම්ප්ට ‘විකටයා’ යැයි කීවේය. අමෙරිකා ඉතිහාසයේ නරකම ජනාධිපතිවරයා ට්‍රම්ප් බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණි. ට්‍රම්ප් සුදු අධිපතිවාදය පිළිබඳ සිය මතය ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කරන්නට ඉදිරිපත්වූයේ නැත. මේ විවාදයත් සමඟ ආයෝජකයන් ද අවුලකට පත්ව සිටිති. විවාදයට පසුව පැවති මත විමසුම හෙළිකළේ ට්‍රම්ප්ට වඩා ජෝ බයිඩ්ඩන් ඉදිරියෙන් සිටින බවය.