මේ දිනවල ලොව පුරා තාරකා විද්‍යා ලෝලීන්ට සිකුරු ලබා තිබේ. ඔවුන් සියලු දෙනාගේම අවධානය දිනා ඇත්තේ සිකුරුය. එයට හේතුව හිරුගේ සිට දෙවැනියා වුවත් හිරු පවුලේ උණුසුම්ම ග්‍රහයා ලෙස ප්‍රසිද්ධ සිකුරුගේ වායුගෝලය තුළින් ජීවය පිළිබඳ හෝඩුවාවක් ලැබී ඇති හෙයිනි. මේ හදිසියේ සිකුරු ග්‍රහයා ගැන උනන්දුව ඉහළ ගියේ එහි වායුගෝලය තුළ ජීවය ඇති තැන්වල දක්නට ලැබෙන බව කියන පොස්පීන් වායුව ඇති බව වාර්තා වීමත් සමගිනි.
පිටසක්වල ජීවය සොයන්නට දැඩි වෙහෙසක් දරන විද්‍යාඥයන්ට සිකුරු ආශ්‍රීත මේ සොයාගැනීම අපූරු හැරවුම් ලක්ෂයකි. මෙතෙක් සිකුරු ගැන දැන සිටියේ අජීවි ලොවක් ලෙසටය. ඒ කාලයකට ඉහත මහපොළොවට සමාන පරිසර තත්ත්වයක් සහිත වූ සිකුරු දැන් පෘථිවියේ සිදුවන්නාක් මෙන් හරිතාගාර වායූන්ගේ බලපෑම නිසා පසුකාලීනව අද පවතින අපායේ කුස්සිය බඳු අධික උණුසුම් තත්ත්වයකට පෙරුළීම නිසාය. මේ නිසාම මහපොළොවෙන් ගිය ජීවයක් එහි රැඳී තිබීමේ හැකියාවක් නැත. දැන් මේ අජීවි ලොවෙන් ජීවයේ සලකුණු මතුවීමත් සමඟ විද්‍යාඥයන් සතුටු වන්නේ එම ජීවය මහපොළොවෙන් එපිට පිටසක්වලකින් පැමිණි ජීවයක් වන්නට හැකි නිසාය. මේ පොස්පීන් වායුව මඟින් ඉඟිකර ඇත්තේ සිකුරු මිනිසුන්, අලි, ඇතුන් වැනි මහා ජීවයක් ගැන නොවේ. ඇසට නොපෙනෙන බැක්ටීරියා බඳු ක්ෂූද්‍ර ජීවින්ගේ පැවැත්මක් එහි පැවතිය හැකි බවය. පුංචි වුණත් මේ ජීවින් දැන් ඔප්පු වී ඇති ආකාරයට පිටසක්වලින් ආ පිරිසකි. මේ නිසා මහපොළොවෙන් පිටත ජීවය පවතින බවට මෙය සාර්ථක උදාහරණයකි.
දැන් මේ නිසාම සිකුරු මත ජීවය සොයායෑමේ හදිසි මෙහෙයුම් සඳහා නව ජීවනයක් ලැබී හමාරය. කැලිෆෝනියාවේ පෞද්ගලික අභ්‍යවකාශ මෙහෙයුම් ආයතනයක් සිකුරු බලා යන්නට ලහිලහියේ සූදානම්ව සිටියි. සියල්ල ඔවුන්ගේ පැලෑනට අනුව සිදු වුණොත් 2023 දී සිකුරු ජීවය සොයා යන ගමන පිටත් වන්නට හැකිවනු ඇත.