
හිරු නැගෙන අධිරාජ්‍යයේ හෙවත් ජපානයේ දැන් ඇත්තේ අලුත් අගමැතිවරයෙකි. ලබන වසරේ එනම් 2021 සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත මැතිවරණය තෙක් ඔහු එම ධූරයේ රැඳී සිටින්නට නියමිතය. වැඩිම කාලයක් අගමැති ධූරය හොබවමින් වාර්තාගත ජනකාන්ත ප්‍රතිරෑපයක් හිමි කර ගන සිටි ෂින්ෂෝ අබේ අගමැතිවරයා අසනීප තත්ත්වය හේතුවෙන් සිය ධූරය අතහැරීමත් සමඟ පාලක කොන්සර්වේටිව් ලිබරල් ඩිමොක්රටික් පක්ෂයේ (එල්.ඩී.පී) ජනප්‍රිය තේරීම වූයේ ප්‍රධාන කැබිනට් ලේකම්වරයා ලෙස කටයුතු කළ එම පක්ෂයේම යොෂිහිඩේ සුගාය. දැන් සුගා ජපාන අගමැතිය.
වත්මන් අගමැති සුගා හැඳින්වෙන්නේ හිටපු අගමැති අබේගේ දකුණු අත හැටියටය. මේ නිසාම ජපානයේ අගමැති වෙනස් වුවද කැපී පෙනෙන පාලන වෙනසක් ළඟකදී සිදු නොවනු ඇත. සුගා මේ තනතුරට ආවේ තුන් ඈදුතු තරගයකිනි. ජපාන අගමැති පාලක පක්ෂයේ සභාපතිද වේ. මේ නිසා කලින්ම තිබුණේ සභාපති තේරීමේ තරගයයි. ඒ සඳහා ඔහු සමඟ තවත් තරගකරුවන් දෙදෙනකු සභාපති සටනට එක්විය. හිටපු විදේශ ඇමති ෆුමියෝ කිෂිඩා සහ හිටපු එල්.ඩී.පී මහලේකම් සහ එක් වරක් ආරක්ෂක ඇමතිධූරය දැරූ ෂිගෙරු ඉෂිබාය. සභාපති ධූරය සඳහා වූ ඡන්ද විමසීමේදී සුගා බහුතර ඡන්ද සංඛ්‍යාවක් දිනා ගත්තේය.
මේ වනවිට 72 හැවිරිදි වියේ පසුවන නව අගමැති සුගා දේශපාලනයේ හොඳ කට්ටක් කා මෙතැනට ආ තෙම්පරාදූ වූ තැනැත්තෙකි. ඔහු කෙතරම් කට්ටක් කෑවාද යත් මුල් වරට යොකෝහාමා නගර සභාවට තරග කරන අවස්ථාවේ එක් දිනක් තුළ නිවාස 300 බැගින් නිවාස 30,000ක් වෙත පයින්ම ගොස් තමා ගැන නගරවාසීන්ට තොරතුරු කීමට ඔහුට සිදුවිණි. ඒ ඔහු ගැන කිසිවෙක් දැන සිටියේ නැති නිසාය. ඒ හේතුවෙන් ඔහුගේ සපත්තු කූට්ටම් 6ක් ගෙවී ගිය බව පක්ෂ වාර්තා පෙන්වා දෙයි.
ඈත පිටිසර අකිටා කලාපයේ හැදුණු වැඩුණු ඔහු ස්ට්‍රෝබෙරි ගොවියෙකුගේ පුතෙකි. පාසල් අධ්‍යාපනය නිමවා රැකියාවක් සොයා ජපාන අගනගරය වන ටෝකියෝවට පැමිණ තිබේ. පසුව විවිධාකාර රැකියා කරමින් දිවි ගෙවා තිබේ. වරක් ඔහු කාඩ්බෝඩ් වැඩපොළක රැකියාවක් ද කළේය. තමන්ට ඉදිරියට යා හැක්කේ අධ්‍යාපනය මගින් බව වටහා ගත් ඔහු ටෝකියෝ නගරයට පැමිණීමෙන් පසු මුදල් ගෙවා ඉගෙනගත හැකි පෞද්ගලික විශ්වවිද්‍යාලයකට ඇතුළු වීය. විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු සඳහා ඔහු මුදල් ඉතිරි කරගත්තේ ප්‍රකට සුකිජී මාළු වෙළෙඳපොළේ ආරක්ෂක නිලධාරියකුද ලෙස රැකියාවක් කරමිනි. උපාධිය හිමිකරගත්, පසු යොෂිහිඩේ සුගා ස්ථීර රැකියාවක් සොයාගත්ත ද එහි වැඩිකලක් රුඳී සිටීමට අපොහොසත් විය. ඔහුගේ තේරීම වූයේ දේශපාලනයයි. ආධුනිකයෙකු ලෙස ඔහු ගමන ඇරඹුවේ යොකෝහෝමා නගර සභාවෙනි.

ජපානයේ මේ නායකත්ව මාරුව පැමිණෙන්නේ රටට දුෂ්කර අවස්ථාවකය. ජපානය තවමත් කොරෝනා වසංගතය සමඟ පොර බදමින් සිටින අතර ආර්ථිකය ද අර්බුදය කරා ගමන් කරමින් සිටී. මේ වනවිට හිටපු අගමැති අබේ මහතාගේ ආර්ථික ප්‍රතිපත්තිය වන “අබෙනොමික්ස්“ Abenomics සමඟ ඉදිරියට යාමට සුගා මහතා පොරොන්දු වී තිබේ. ඔහුටද මුලින්ම කොරෝන වෛරස් වසංගතයේ දැවෙන ඉල්ලීම් විසඳීමට අවශ්‍ය වනු ඇත. සිය මැතිවරණයට පෙර 2021 මුල් භාගය වනවිට ජපානය සඳහා කොවිඩ් -19 පරීක්ෂණ සහ ප්‍රභව එන්නත් ව්‍යාප්ත කිරීමට ඔහු පොරොන්දු වී තිබේ. අවම වැටුප ඉහළ නැංවීම, කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණ ප්‍රවර්ධනය කිරීම සහ සංචාරක කර්මාන්තය නංවාලීම යන කරුණු ද ඔහු හමුවේ පවතී. විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ද ඔහු හිටපු අගමැති අබේ මහතාගේ අඩිපාරේ ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ අනුව ජපානය එක්සත් ජනපදය සමඟ දිගුකාලීනව ඇතිකරගෙන සිටින සන්ධානයට ප්‍රමුඛත්වය දෙන අතරම චීනය සමඟ ස්ථාවර සබඳතා පවත්වාගෙන යාමට පියවර ගනු ඇත.
වඩාත්ම ජවසම්පන්න හෝ උද්යෝගිමත් දේශපාලනඥයෙකු ලෙස නොසැලකුවද, සුගා මහතා ඉතා කාර්යක්ෂම හා ප්‍රායෝගික දේශපාලනඥයෙකු බවට කීර්තියක් දිනා ඇත. මේ මොහොතේ පක්ෂයේ සහ රටේ නායකත්වය දිනා ගැනීමට ඔහු සමත් වුවත් ලබන වසරේ පැවැත්වෙන මහ මැතිවරණයේදී ඔහු පක්ෂයට නිසි නායකත්වය ලබා දෙයිද යන්න ගැන සමහරු සැක පහළ කරති. බොහෝ නිරීක්ෂකයන්ට අනුව වඩාත් ප්‍රබල නායකයෙකු එම මැතිවරණයේදී ඉදිරියට එන්නට බොහෝ දුරට ඉඩ තිබේ.