මේ දිනවල ලංකාවේද තිරගත වන ඩිස්නි නිෂ්පාදනයක් වන මුලාන් චිත්‍රපටය වර්ජනය කරන්නැයි මහා රැල්ලක් තායිවානය සහ තායිලන්තය පුරා පැතිර යයි. හොංකොංවලින් මේ විරෝධතාව ඇරුඹුණේ පසුගිය වසරේදීයි. හොලිවුඩ් විරෝධතාව ප්‍රජාතන්ත්‍රවාදයට හිතැති හොංකොංවාසීන් අතර පැතිර ගියේ මෙහි ප්‍රධාන නිළියගේ ප්‍රකාශයක් සමගිනි.
හොංකොං දූපත සහ චීනය අතර හටගෙන ඇති මතභේදය හොංකොං පාලකයන් සහ ප්‍රජාතන්ත්‍රවාදීන් අතර ගැටුමක් බවට පත්ව තිබේ. ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා හොංකොං හි දස දහස් ගණනක් පාරට බැස තිබුණි. පොලීසිය සිය සුපුරුදු ප්‍රහාරාත්මක මැඩලීම ක්‍රියාත්මක කළහ. මේ ගැටුමේ උච්ඡතම අවස්ථාවේ දැන් විරෝධයට ලක්ව තිබෙන මුලාන් චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව රඟන නිළිය පොලීසියට පක්ෂව ප්‍රකාශයක් සිදුකර තිබුණි. ඒ අනුව ඇයට එරෙහිව මහා විරෝධයක් ඇරුඹිණි. මේ සතියේ ලොව පුරා තිරගත වීම ඇරැඹූ චිත්‍රපටය බැලීමෙන් වළකින්න යැයි දැන් නැවත විරෝධතා රැල්ලක් පැතිර යමින් තිබේ.