බෙලරූස් රාජ්‍යයේ ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුෂෙන්කෝට එරෙහිව එරට වැසියෝ යළිත් විරෝධතාවල නිරතව සිටිති. පසුගියදා 66 වැනි උපන් දිනය සැමරූ යුරෝපයේ අවසන් ඒකාධිපතියා යනුවෙන්ද හැඳින්වෙන අතීත සෝවියට් සංගමයේ රටවල් අතරින් වැඩිම කාලයක් බලයේ සිටි නායකයාද වන ඇලෙක්සැන්ඩර් ලුෂෙන්කෝ 26 වසරක් ජනපති පුටුවේ සිටින්නෙකි. මෙවර පැවැති මැතිවරණයද ජයගනිමින් නැවත වරක් රටේ පාලනය තමා සතුකර ගැනීමට ජනාධිපති ලුෂෙන්කෝ සමත් විය.
එහෙත් විරෝධතාකරැවන් පවසන්නේ මැතිවරණයේදී වංචාවක් සිදුකර ඇති බවය. එහෙයින් පැවති මහමැතිවරණය දූෂිත එකක් බවට ජනතාව චෝදනා කරති. මැතිවරණයෙන් පසුව ජනාධිපතිවරයාට එරෙහිව ආරම්භ වූ විරෝධතාව අඛණ්ඩව මේ වන තුරැත් පැවැත්වේ. ඔහුට එරෙහිව බෙලරෑස් වැසියන් මහ පාරේ ‘ලැජ්ජයි- ‘පලයන් ලුකෂෙන්කෝ! වැනි සටන්පාඨ රුගත් වැකි මෙන්ම මල්, බැලූන සහ රතු-සුදු පැහැති විපක්ෂ කොඩිද අත දරමින් උද්ඝෝෂණ අරඹා තිබුණි. මින්ස්ක් අගනුවර පැවති විරෝධතාවට දහස් සංඛ්‍යාත පිරිසක් එක්ව සිටියෝය. අගනුවර නිදහස් චතුරස්‍රයටත් විරෝධතාකරුවන් රැස්වූහ. එහිදී විරෝධතාකරුවන් සියයකට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබුණි. නිතර ‘ජනතාවගේ මිනිසෙක් ලෙස පෙනී සිටීමට ප්‍රියකරන ලුෂෙන්කෝ, කියා තිබෙන්නේ තමන් කිසිදු විටෙක බලය අත්හැරීමට සූදානම් නැති බව ය.
සෝවියට් සංගමය බිඳවැටුණු වහාම රට තුළ "Batka‘ හෙවත් ‘තාත්තා‘ යනුවෙන් හැඳින්වුණු ලුෂෙන්කෝ බටහිර රටවල් සමඟ යහපත් සබඳතාවක් පවත්වාගෙන යාමට සමත් වුවද සිය රට තුළ ඔහුගේ ඒකාධිපති පාලනයට එරෙහිව විශාල විරෝධයක් ගොඩ නැගී තිබේ. රුසියාව සමඟ ඉතාම සමීප සබඳතාවක් පවත්වාගෙන යමින් ශක්තිමත් කාර්මික සහ කෘෂිකාර්මික ඵල නෙලාගත් ලුෂෙන්කෝ විසින් බෙලරුස් රාජ්‍යය ‘කුඩා සෝවියට් සංගමයක් කළ බවට අතීතයේ විශාල ප්‍රශංසාවක් හිමිව තිබිණි.