
ජපාන අගමැති ෂින්ෂෝ අබේ අයහපත් සෞඛ්‍ය හේතුන් මත සිය පදවිය අත්හරින බව ඉකුත් සිකුරාදා ටොකියෝ නුවරදී ප්‍රකාශ කළේය. “මා තවදුරටත් අගමැති ධුරය නොදැරිය යුතු බවට මම තීන්දු කළෙමි. මගේ රෝගයට එරෙහිව සටන් වැදීමට අවශ්‍ය ප්‍රතිකාර මම ලබාගත යුතුය යනුවෙන් ඔහු කීවේය.
වැඩිම කාලයක් ජපානයේ අගමැති ධුරය දැරූ ෂින්ෂෝ අබේ හට ලබන වසරේ නොවැම්බර් දක්වා බලයේ සිටිය හැකියාව තිබුණි. කාලාන්තරයක් තිස්සේ අන්ත්‍රය ආශ්‍රිත සුව නොවන ඉදිමුම් රෝගයකින් පීඩාවිඳි අගමැතිවරයා පසුගිය සති දෙක තුළ දෙවරක් රෝහල් ගතවිය. ඉකුත් සඳුදා අවසන් වරට ටෝකියෝවේ කීයෝ සරසවි රෝහලට ඇතුළත්ව තිබුණි. තමන් අට වසරක් රෝගය යටපත් කරගෙන සිටියත් මේ වසරේ ජූනි මස සිට හටගත් අපහසුතා තමන්ට අගමැති තනතුරේ වගකීම අත්හැරීමට බලකර ඇති බව ඔහු ප්‍රකාශ කළේය.
පාලක ලිබරල් ඩිමොක්‍රැටික් පාක්ෂිකයන් අතර ඔහු බලය අත්හරීය යන්න පිළිබඳ සැකය පැතිර තිබුණේ පසුගිය කාලයේ ඔහු දෙවරක්ම රෝහල් ගතවීමත් සමගිනි. අබේ ඉන් එක් වතාවක පැය 7කට ආසන්න කාලයක් රෝහලේ ගත කර තිබුණි. පසුගිය ජූනි මස සිට අබේ දුර්වල පෙනුමක් සහිතව සිටි බව ඔහුගේ ආශ්‍රිතයෝ කියන්නට වූහ. මේ නිසාම සිකුරාදා ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වන්නට යන බවට වූ පුවත කල්තබාම මහත් ආන්දෝලනයක් ඇති කළේය.
මේ අතර කසුකුසු පැතිර ගියේ අබේ ගෙන් පසු රටේ මුල් පුටුවට සුදුස්සා කවුද යන්න ගැනය. අගමැති මූලික පාලනයක් ඇති ජපානයේ අගමැති පත් කරනුයේ පාර්ලිමේන්තුවේ කැමැත්ත අනුවය. නමුත් එයද ලෙහෙසි කාරනාවක් නොවේ.දැන් මුලින්ම කියැවෙන්නෙ උප අගමැති ටාරෝ අසෝ ගේ නමයි. වෙළඳ ඇමැතිවරයාද වන ඔහු තාවකාලිකව එම ධුරයට පත්වනු ඇත. පසුව ඔහු පාර්ලිමෙන්තුවේ කැමැත්ත දිනා නිසි පරිදි තනතුරේ පිහිටුවිය යුතුය. හිටපු ආරක්ෂක ඇමැති ෂිගේරු ඉෂිබාගේ නමද අපේක්ෂකයන් අතර මුල් පෙළට එයි. හිටපු විදෙස් ඇමති ෆුමීයෝ කිෂීඩා ද සුදුසුකම් දරයි. ආරක්ෂක ඇමැති ටාරෝකෝනෝ ද රජයේ ප්‍රකාශක ලෙස අබේගේ සිත් දිනා ගත් ලුතිනන්වරයෙකු වන යොෂිඩේ සූගාද තව සුදුස්සන්ය. සින්ජිරො කොෂුමි පරිසර ඇමති ද සෞඛ්‍ය ඇමති කට්සුනොබු කාටෝද ආර්ථික ප්‍රවර්ධන ඇමති නිෂිමුරා මෙන්ම අවස්ථාව ලදොත් ජපානයේ මුල්ම අගමැතිවරිය වන්නට වාසනාව ඇති 59 හැවිරිදි හිටපු අභ්‍යන්තර කටයුතු ඇමැතිනිය සෙයිකෝ නෝඩාද මේ දිගු පොරොත්තු පෝළිමේ සිටිති.
අබේ 2012 සිට රටේ මුල් පුටුව හොබවයි. මෙයට පෙර වතාවක් 2007 දී අබේ සිය පදවිය මේ කියන රෝගය හේතුවෙන් වසරක් ගතවෙන්නටත් කලින්ම අත්හැරියේය. ඉන්පසු ඔහු 2012දී නැවත පත්විය. ඒ ආ ගමනෙන් පසු ඔහු පිටපිට හතර වතාවක්ම අගමැති ලෙස පත්විය. මෙවර අබේ අසනීප වීමත් සමග වඩාත් කැළඹීමට පත්ව සිටින්නේ ඊළඟ මස බලය අහිමි වීමට නියමිත විධායක මන්ත්‍රීවරුන්ය. පහළ මන්ත්‍රී මණ්ඩලයට ලබන වසරේ ඔක්තෝබරය දක්වා කල් තිබේ. අගමැතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ පවතින සැකය නිසාම ඔහු ධුරයෙන් ඉවත්වන බවට වූ රාවය සතිඅන්තයේ ඔහුගේ ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාව පවත්වන තුරුම තදින්ම පැතිර තිබුණි. කලින් මතය පැතිර තිබුනේ අබේ ජිවිතය ඇති තුරාම බලයේ සිටින්නෙකු කියාය. ඔහුගේ ආර්ථික පිළිවෙත “අබේනොමික්“ ලෙස හැඳින්වෙන්නට වූයේ ජපානය අංක එක බවට පත්කරන න්‍යායක් ලෙසටය. ඔහු සම්ප්‍රදාය බිඳ වෙනස්කම් රුසක් හඳුන්වා දුන්නේය. මේ නිසාම අබේ “ජපානයේ ට්‍රම්ප්“ හැටියටද හැඳින්වෙන්නට විය. 65 වැනි වියේ පසුවන අබේ සමුගෙන යන්නේ භු කම්පනයක් සුනාමිය සහ න්‍යෂ්ටික අනතුරක් වැනි ව්‍යසන රැසකට මුහුණ දී සිය රට බේරාගත් නායකයා ලෙසටය.
සංස්කරණය:
සුගත් පී. කුලතුංගආරච්චි