2020 අගෝස්තු 29 වන සෙනසුරාදා

දිල්ලි-ලන්ඩන් දින 70 බස් ගමන!

 2020 අගෝස්තු 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 266

කවුරුත් දන්නා පරණ කතාවේ හැටියට ලන්ඩන්වල ඉහළ සමාජයේ වීරයෙකු වූ පිලියාස් ෆොග් මහතාටත් ඔහුගේ සහායක ප්‍රංශ ජාතික පැස්පෙටූටත් ලෝ වටා යන්නට හැකිවූයේ 80 දවසකිනි. සුප්‍රකට ප්‍රංශ ලේඛක ජුල්ස් වර්න්ගේ මේ කතාව ලියැවුන 1872 වැනි කාලයේ ලෝකේ වටේ දින 80කින් යාමත් මහා පුදුමයක් - විස්කම් වැඩක් විය. ඒත් මිනිසා අභ්‍යවකාශයත් පන්නා වෙනත් ග්‍රහලෝක කරා යන මේ කාලයේ දින 70ක් ගතවෙන ඉබි - සවාරියක් ගැන අසන්නට ලැබීම අමුතුය.

ලෝකෙන් භාගයක් දුර ගෙවන්නට දින 70ක් ගන්නා මේ අපූරැ ඉබිගමන සංචාරක ගවේෂණ ආයතනයක අලුත් අදහසකි. එය මුළුමනින්ම ගොඩබිම ඔස්සේ සිදුවන්නකි. නැග්ගා - බැස්සා පන්නයේ දීර්ඝ සවාරියක් වන මේ සංචාරය සිදුවන්නේ සුඛෝපභෝගී බස් රථයකිනි. ගෙන යන්නේ මගීන් 20ක් පමණි. ලන්ඩන්වලින් ඇරැඹෙන මේ සවාරිය ලෝකයේ රටවල් 18ක් ඔස්සේ දින 70ක් පුරා ඒ ඒ පුර අසිරි සිත් සේ විඳිමින් යන්නකි. මේ ගමන නවතින්නේ ඉන්දියාවේ දිල්ලි නුවරිනි. ලන්ඩන් - දිල්ලි අතර ගුවන් ගමනට යන්නේ පැය 4-5කි. එසේ තිබියදී මියැන්මාරයේ පන්සල් වඳිමින්, චීනයේ මහා ප්‍රාකාරය තරණය කරමින්, මොස්කව්, ප්‍රාග් වැනි ඓතිහාසික නුවර නරඹමින් යන මේ වට වන්දනාව 1950 – 60 කාලයේ ලෝකය හරහා ගමන්ගත් හිපි බස් සේවාව සිහිපත් කරන්නකි. මේ අලුත් පන්නයේ වට වන්දනා ගමන ඉන්දියාවේ තරැණ ව්‍යාපාරිකයෙක් වූ තුෂාර් අග්‍රවාල් සහ ඔහු මිත්‍ර සංජේ මදාන්ගේ අදහසකි. එක් වටයකට ඩොලර් 20,000ක් පමණ වැයවන මේ ඉබි ගමන 2021 මැද මුලින්ම ඇරුඹෙන්නට නියමිතය.