2020 අගෝස්තු 29 වන සෙනසුරාදා

හොලිවුඩ් එන රාජකීය නළුවා!

 2020 අගෝස්තු 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 175

බ්‍රිතාන්‍ය රාජකීය  කිරුළේ හයවැනි උරුමක්කාරයා වන හැරී කුමරු හොලිවුඩ් නළුවෙක් වන්නට යන ආරංචිය මහත් ආන්දෝලනයක් ඇති කර හමාරය. බ්‍රිතාන්‍ය රජ කුමරෙකු මෙලෙස හොලිවුඩ් කර්මාන්තයට සම්බන්ධ වීම ඉතාමත් සුවිශේෂී අවස්ථාවකි. ඔහු විවාහ වූයේ අමෙරිකානු නිළියක් වූ මේගන් මාකල් සමඟය. දැන් කුමරැද සිය බිරිය අනුව යමින් රජකමට වඩා නළුකම තෝරාගන්නට තීන්දු කළ හැඩකි. රාජකීයත්වය අත්හල හැරී - මේගන් යුවලගේ හොලිවුඩ් ආගමනය සඳහා මේ වනවිට මූලික කටයුතු සූදානම් වෙමින් පවතින බවට රාවයක්ද පැතිර යමින් තිබේ. දැනටමත් ඔවුන් හොලිවුඩ් සම්බන්ධ රහස් ව්‍යාපෘතියකට සම්බන්ධ වී කටයුතු කරන බව ඔවුන්ට සමීප මූලාශ්‍රයක්  විසින් අනාවරණය කර තිබුණි.

බ්‍රිතාන්‍ය රාජකීය ධුරාවලියේ කිරුලට හිමිකම් කියන හයවැන්නා වන හැරී කුමරු සමඟ විවාහ වීමට පෙර මේගන් මාකල් අමෙරිකාවේ රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කළේය. රාජකීය රීතීන්ට අනුව විවාහයෙන් පසු ඇයට රංගනයට සමුදීමට සිදුවිය. කෙසේ වෙතත් නිදහස අගැයූ එම යුවළ ස්වාධීනව ජීවත්වීමට තීරණය කරමින් රාජකීයත්වය අතහැර දමා අමෙරිකාවේ පදිංචියට පැමිණියහ. මෑතකදී ඔවුන් හොලිවුඩ් පුරයට නෑකම් කියන කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන්ටා බාබරා නගරයෙන් නිවසක්ද මිලදී ගෙන තිබේ.  

අමෙරිකානු නිළියක් වූ මේගන් මාකල් තම අදායම් මාර්ගය ලෙස නැවතත් විනෝදාස්වාද කර්මාන්තය තෝරාගනු ඇති බවට කතාබහක් ඇතිවූයේ කලෙක සිටය. එවන් පසුබිමක හැරී කුමරුගේ හොලිවුඩ් ආගමනය පිළිබඳව පුවත ඇසීමෙන් දැන් ඉමහත් සතුටට පත් වී සිටින්නේ ඔවුන්ගේ රසිකයන්ය.