2020 අගෝස්තු 22 වන සෙනසුරාදා

ට්‍රම්ප්ගේ පුටුවට ජෝ බයිඩන්!

 2020 අගෝස්තු 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 133

මෙවර ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ජෝ බයිඩන් නිල වශයෙන් නම් කර තිබේ. ඩිමොක්‍රටික් පක්ෂ සමුළුවේදී ඩිමොක්‍රටික් නියෝජිතයන් සහ ප්‍රාන්ත 50ක මෙන්ම එක්සත් ජනපදයේ ප්‍රදේශ හතක සාමාන්‍ය ජනතාවගේ වැඩි ඡන්දයෙන් ඔහු අපේක්ෂකත්වයට පත්ව ඇත.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ජො බයිඩන් සඳහන් කර ඇත්තේ ලබන ජනාධිපතිවරණය සඳහා ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකත්වයට පත්වීම සිය ජිවීතේ හිමි වූ ගෞරවයක් බවයි. එමෙන්ම හිටපු අමෙරිකානු ජනාධිපතිවරුන් වන බිල් ක්ලින්ටන් සහ ජිමී කාටර් පවසන්නේ කොරෝනා ව්‍යාප්තියෙන් අර්බුදයට මුහුණපා සිටින අමෙරිකාව ඉන් මුදාගැනීමට අවැසි අත්දැකීම් සහ හැකියාව ජෝ බයිඩන් සතුව පවතින බවයි.

ජෝ බයිඩන් මීට පෙර අමෙරිකානු ජනපති සටනට දෙවරක් ඉදිරිපත් වී තිබේ. ඒ 1988 දී සහ 2008 දීය. වසර 1942 නොවැම්බර් 20 උපත ලද 77 හැවිරිදි වියේ පසුවන ජෝසප් රොබිනට් බයිඩන්, හිටපු අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමාගේ උප ජනාධිපතිවරයා වශයෙන් 2009-2017 කාලය තුළ කටයුතු කර තිබිණි. ඒ අනුව ඔහු අමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි උප ජනාධිපතිවරයා  වශයෙන් කටයුතු කළ තැනැත්තාය. එසේම ඔහු 1973 සිට 2009 දක්වා එකසත් ජනපද සෙනට් සභිකයකු ලෙස ඩෙලවෙයා ජනපදය නියෝජනය කරන ලදී.