
කැලිෆෝනියාවේ මරණයේ මිටියාවත මේ දිනවල අපායේ කුස්සිය බඳුය. මිහිතලයේ මෙතෙක් වාර්තා වූ අධිකම උෂ්ණත්වය මේ දිනවල අමෙරිකාවේ කැලිෆෝනියාවේ ඩෙත්වැලි ජාතික උද්‍යානයෙන් ඉකුත් සතියේ වාර්තා විය.
අමෙරිකානු ජාතික කාලගුණ සේවා ආයතනය තහවුරු කර ඇති පරිදි එම උෂ්ණත්වය සෙල්සියස් අංශක 54.4ක් හෙවත් ෆැරන්හයිට් 130ක අගයකි.
මරණයේ මිටියාවත හෙවත් ඩෙත් වැලි උෂ්ණත්වය ඉහළ තාප තරංග සඳහා නම් දැරූ ප්රදේශයකි. මීට පෙර මිහිතලයේ ඉහළම උෂ්ණත්වය වාර්තා වී ඇත්තේ ද ඩෙත් වැලියෙනි. සෙල්සියස් අංශක 54ක් වූ එම උෂ්ණත්වය වාර්තා වූයේ 2013 දීය. ශතවර්ෂයකට පෙර මෙම ප්‍රදේශයෙන්ම සෙල්සියස් අංශක 56.6 වාර්තා වූ බවට විවාදාත්මක මතයක් ද පවතී.
මෙවර මෙම ඉහළ උෂ්ණත්වය වාර්තා වූයේ එක්සත් ජනපදයේ බටහිර වෙරළ තීරයට තාප තරංගයක බලපෑම එල්ල වී තිබියදීය. මේ තාප තරංගය අමෙරිකාවේ නිරිතදිග පිහිටි ඇරිසෝනා ප්‍රාන්තයේ සිට වයඹ දිග පිහිටි වොෂිංටන් ප්‍රාන්තය දක්වා විහිදී තිබේ. එලෙස බටහිර වෙරළේ තාප තරංග ඇති වීම හේතුවෙන් කැලිෆෝනියාව සහමුලින්ම ‘ලෝදිය හැලියක්’ බවට පත්ව ඇත. කැලිෆෝනියාවේ උෂ්ණත්වය මෙලෙස ඉහළ යත්ම, ලාසන් ප්‍රදේශයෙන් විශාල ‘ගිනි සුළියක්’ද (firenado) නිරීක්ෂණය වී තිබුණි.
සෙල්සියස් අංශක 32ට වැඩි උෂ්ණත්වයක් සමග අධික තාපය හා ආර්ද්‍රතාව දින දෙක තුනක කාලයක් පැවතීම දැඩි උණුසුම් පරිච්ඡේදයක් ලෙස නිලධාරීහු හඳුන්වති. මෙවර මේ දැරිය නොහැකි උෂ්ණත්වය අවම වශයෙන් තවත් දින දහයක්වත් පවතිනු ඇතැයි විශ්වාස කෙරේ.
අලි මදිවාට හරක් කියන්නාක් සේ විදුලි බලාගාරයක් අක්‍රීය වීම හේතුවෙන් කැලිෆෝනියාවේ දින දෙකක් පුරා විදුලි බලය ද ඇනහිට තිබිණි. මේ නිසාම දැන් එය ඇත්තටම මිහිමතට ආ අපායේ කුස්සිය බඳුය.