2020 අගෝස්තු 22 වන සෙනසුරාදා

යෝධ බුදු රුවේ පා යුගල සිපගත් චීනයේ මහා ගංවතුර!

 2020 අගෝස්තු 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 117

දශක හතකට පසු පළමු වරට එනම් 1940 ගණන්වලින් පසු හටගත් දරුණුතම ගංවතුර තත්ත්වයට චීනයේ සිචුආන් පළාතේ චෙන්ග්ඩු ප්‍රදේශය මුහුණ දී තිබේ. මේ පළාත වඩාත් ප්‍රසිද්ධ යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර ඇති මීටර 71 උසැති ‘ලෙෂන්’ බුදු පිළිම වහන්සේ නිසාය. දැන් චීනයේ පිහිටි මෙම යෝධ බුදු රුවේ පා යුගල දශක හතකට පසු පළමු වරට පිටාර ගං දියෙන් තෙත් වී හමාරය. මෙම ශෛලමය බුදු පිළිමය ක්‍රිස්තු වර්ෂ 8 වැනි සියවසේදී පමණ නිමවන ලද්දකි.

පසුගිය සතියේදී බුදු පිළිමයේ පදනම දක්වා ජල මට්ටම ඉහළ ගිය අතර එය තවදුරටත් වර්ධනය විය. ප්‍රමාණයෙන් මිනිසෙකුට වඩා විශාල බුදු රුවේ පා ඇඟිලි අවසන් වරට ජලයෙන් යට වී ඇත්තේ 1949 වසරේදීය. 

මෙම බුදු පිළිමයේ පා ඇඟිලි ගං දියෙන් තෙමෙන්නේ නම් මිලියන 16කට නිවහන වූ චෙන්ග්ඩු ප්‍රදේශයත් ජලයෙන් යටවන බවට එහි ජනයා අතර විශ්වාසයක් පවතියි.

දරුණුතම ගංවතුර තත්ත්වය හේතුවෙන් 100,000ට අධික පිරිසක් ආරක්‍ෂිත ස්ථාන කරා රැගෙන යනු ලැබිණි. අවට අනතුරුදායක ප්‍රදේශවලින් ජනයා ඉවත් කරවා ගැනීම සඳහා බේරා ගැනීමේ කණ්ඩායම් යොදවනු ලැබ තිබේ. සති ගණනාවක් පැවති ධාරානිපාත වැසි හමුවේ ‘යැන්ග්ට්සේ’ නදිය ආශ්‍රිතව ක්‍රියාත්මක මහා පරිමාණ ජල විදුලි ව්‍යාපෘතියක් වන ‘ත්‍රී ගෝර්ජස්’ වේල්ල ඉහළ කොටසට ජලය විශාල වශයෙන් එක්රැස් වෙමින් පවතින බවට බලධාරීන් අනතුරු අඟවා ඇත. ඒ හේතුවෙන් ප්‍රධාන නගරයක් වන චොන්ග්කුයින්ග් යටවීමට ඉඩ ඇති බවටද අනතුරු අඟවා ඇත.