2020 අගෝස්තු 15 වන සෙනසුරාදා

රාජ්‍ය තහනමින් අලෙවිය නැග්ග පත්තරේ-විස්තරේ!

 2020 අගෝස්තු 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 126

පත්තර සඳහා ලෝකයේම ඉල්ලුම මේ වනවිට බැසගොස් ඇත. මේ අව්අස්සේ සරුසාර අලෙවියක් හදිසියේම ඇති වූ පුවත්පතක් ගැන වාර්තා වන්නේ හොංකොං වලිනි.

පසුගියදා බෙයිජිං පාලනය හොංකොංවලට පනවා ඇති නව ආරක්ෂක නීතිය යටතේ හොංකොංහි ඇපල් ඩේලි පුවත්පතේ හිමිකරු ජිමී ලායි පොලිස් අත්අඩංගුවට ගත්තේය. නමුත් ඒ සමඟ එම ව්‍යාපාරයේ කොටස්වල අගය සිව්ගුණයකින් ඉහළ ගොස් ඇත. අයිතිකරු අත්අඩංගුවට ගෙන තිබුණේ විදෙස් බලවේග සමඟ සම්බන්ධතා පැවැත්වීමේ චෝදනාව මතය. එම චෝදනාව මත අත්අඩංගුවට ගත් ප්‍රජාතන්ත්‍ර හිතවාදී මුළු පිරිස 10කි. 200කට වැඩි පොලිස් නිලධාරීන් පිරිසක් ඔහුගේ කාර්යාලයට කඩාවැදී දෑතට විලංගු දමා රැගෙන ගිය බවට එම පුවත්පත ඡායාරූප සහිතව පළකර ඇත. “ඇපල් ඩේලි සටන් කළ යුතුයි යැයි යන ශීර්ෂපාඨය සමඟ එම ඡායාරූපය පළකර තිබුණි.

මේ සිද්ධියත් සමග ලායිගේ ජනප්‍රිය ටැබ්ලොයිඩ් පුවත්පත මිලදී ගැනීමට උදෑසන 2.30 සිට මිනිස්සු පෝලිම් ගැසී සිට ඇත. එහි කොටස් මිලද ඉහළ ගියේය. කලින් හොංකොං ඩොලර් 0.255කට අගය නියම වී තිබූ එහි කොටසක් පැය 24ක් ඇතුළත හොංකොං ඩොලර් 1.10කට ඉහළ ගියේය. ඒ පුවත්පත දැන් පිටපත් ලක්ෂ 5ක් මුද්‍රණය කරන අතර කළින් මුද්‍රණය කර ඇත්තේ එයින් පහෙන් එකක ප්‍රමාණයකි.

බෙයිජිං පාලනය විසින් ගෙන එන ලද නව ආරක්ෂක නීතිය අනුව ඔහු අත්අඩංගුවට ගත් නමුත් පසුව පොලිස් ඇප මත ඔහු නිදහස් කර ඇත.