
ස්පුට්නික් ෆයිව් යනුවෙන් නම්කළ ලොව ප්‍රථම කොරෝනා මර්දන එන්නත රුසියාව ඉකුත්දා ලොවට හඳුන්වා දුන්නේය. ලොව පළමු COVID-19 එන්නත වූ මෙය භාවිතය සඳහා රුසියානු සෞඛ්‍ය අමාත්‍යංශය අනුමැතිය ලබා දී තිබුණි.
රුසියානු ජනාධිපති ව්ලැද්මිර් පුටින් සඳහන් කළේ මාස දෙකක පමණ කාලයක් එය මිනිසුන් යොදාගෙන සායනික පරීක්ෂා කිරීම්වලින් අනතුරුව මෙම එන්නත සඳහා අවසරය ලබාදී ඇති බවයි. මොස්කව් අගනුවර පිහිටි ගැමලෙයා ආයතනය මෙම එන්නත වැඩිදියුණු කර ඇති අතර, මෙම එන්නත මුල්වරට ලබාදුන් අය අතර රැසියානු ජනාධිපතිවරයාගේ දියණියද සිටින බව මුලින් වාර්තා විය.
කෙසේ වෙතත් අමෙරිකාව, ජර්මනිය ඇතුළු රටවල් කිහිපයක් සහ ඇතැම් විද්‍යාඥයින්ද මෙම එන්නතෙහි ආරක්ෂිතභාවය සහ ප්‍රතිඵලදායකභාවය පිළිබඳව දැන් සැක පළකර ඇත. මේ සැකය ගැන අදහස් දක්වන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රුසියානු නියෝජිතයා සඳහන් කළේ, ජාත්‍යන්තර සහයෝගය ලබාගනිමින්, ඕනෑම පාර්ශ්වයක් සමඟ එක්ව සිය කොරෝනා මර්දන එන්නත වැඩිදියුණු කිරීමට සූදානම් බවය. මෙම එන්නත වැඩිදියුණු කිරීමේ අරමුණ කොරෝනා ව්‍යාප්තිය වැළැක්විය හැකි ප්‍රතිකාර ක්‍රමයක් තහවුරු කිරීම බව ඔහු කීය. මේ වනවිට ලොවපුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව කෝටි 2ක ඉක්මවා තිබේ.