2020 ජුලි 25 වන සෙනසුරාදා

වැඩියෙන්ම වටින ගුවන් ප්‍රහාරකයා!

 2020 ජුලි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 239

අමෙරිකානු ඩොලර් බිලියන 2 ක් වටිනා B-2 යානය යළි කරළියට පැමිණ තිබේ. රේඩාර් සඳහා හසු නොවන ලෙස නිර්මාණය කර ඇති මෙම B-2 යානය ප්‍රහාරක යානා අතර සුවිශේෂය. බෝම්බ හෙළීමට භාවිත කළ හැකි එම යානාව ලොව මෙතෙක් නිර්මාණය කර ඇති මිල අධිකම ගුවන් යානය වේ. මෙම ගුවන් යානය නිපදවා ඇත්තේ ලෝක බලවතුන් අතර ශීත යුද්ධය පැවති සමයේදීය. සාමාන්‍ය යුද ප්‍රහාරක අවි සහ න්‍යෂ්ටික අවි සමග සෝවියට් ගුවන් ආරක්ෂණ පද්ධතියෙන් රිංගා යාමට හැකිවන සේ එය නිර්මාණය කර තිබේ. මෙතෙක් නිෂ්පාදනය කර ඇති වඩාත් නවීනතම උපාංගවලින් සමන්විත ගුවන් යානයක් වන B-2 යානයට ලොව ඕනෑම ස්ථානයක ඇති ඉලක්කයක් කරා ගොස් නැවත යානා අංගනය වෙත පැමිණීමට හැකිය.

1989 දී බර්ලින් තාප්පය බිඳ හෙළීමත් සමග ශීත යුද්ධය අවසන් වූ අතර ඉන්පසු කිසිදිනෙක B-2 Spirit ගුවන් යානා රුසියානු ගුවන් කලාපයට ගොස් නැත. නමුත් වරින්වර යුද කටයුතු සඳහා එම යානා යොදා ගැනිණි. පළමු B-2 යානය මිසෝරි හි පිහිටි Whiteman ගුවන් හමුදා මූලස්ථානය වෙත ලබාදෙන ලදී. තවමත් එම යානා ක්‍රියාත්මක වන්නේ එම කඳවුරේ සිටය. හමුදාමය ක්‍රියාන්විතයක් සඳහා එම යානා ප්‍රථමවරට යොදාගනු ලැබුවේ 1999 කොසොවෝ යුද්ධයේදීය.

උඩු ගුවනේදී ඉන්ධන පුරවා ගැනීමේ හැකියාවද ඊට ඇත. මේ දක්වා හමුදාමය ක්‍රියාන්විතයකදී කිසිදු "B-2” යානයක් විනාශ වී නොමැත. මෙම යානය නියමුවන් දෙදෙනෙකුගෙන් සමන්විත වන අතර කිලෝග්‍රෑම් 230 පන්තියේ ගෝලීය තැන් සෙවුම් පද්ධති මගින් හැසිරවිය හැකි බෝම්බ හෝ කිලෝග්‍රෑම් 1100 න්‍යශ්ටික බෝම්බ එක්වර රැගෙන යා හැකිය. මෑත කාලයේදී ඉරාකය සහ ඇෆ්ගනිස්තානයේ මෙහෙයුම් කටයුතු සඳහාද මේවා භාවිත කළ අතර එහිදී 2008 වසරෙදි සිදුවූ අනතුරකින් එක් යානයක් විනාශයට පත් විය.

Northrop Grumman ආයතනය විසින් නිමවා ඇති අධිබල ඇමරිකානු ගුවන්යානය අඩුවෙන් නිරීක්ෂණය වන හෙවත් Stealth Technology භාවිතයෙන් නිමවා ඇත්තේ ගුවන් යානා නාශක රේඩාර් පද්ධති වලට නිරීක්ෂණය නොවී සතුරු ඉලක්ක වෙත සාමාන්‍ය සහ න්‍යෂ්ටික ප්‍රහාර දියත් කිරීමටය.