
කොරෝනා වසංගතය හේතුවෙන් මේ වසර අවසාන වනවිට මිලියන 265ක ජනතාවකට උග්‍ර ආහාර හිඟයකට මුහුණ දීමට සිදුවිය හැකි බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටියරෙස් පවසයි. එසේම ලෝකය, දැඩි ආර්ථික පසුබෑමකට ලක්වනු ඇතැයි ද ලොව පුරා මිලියන 100ක් අන්ත දුගීභාවයට පත්වනු ඇතැයි ද ඔහු පවසයි.
මේ වනවිට ලොව පුරා වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව, එක් කෝටි තිස් හතර ලක්ෂ හතළිස් හතර දහස ඉක්මවා ඇත. වාර්තා වන මරණ සංඛ්‍යාව පන්ලක්ෂ අසූදහස ඉක්මවා තිබේ. ලෝක නායකයන්ගේ දුර්වල මඟපෙන්වීම සහ ජනතාව වෙත ලබාදුන් "අපැහැදිලි" පණිවුඩ හේතුවෙන් මෙලෙස කොවිඩ් ව්‍යාප්තිය වේගවත් වූ බවට ලෝක සෞඛ්‍ය සංවිධානය චෝදනා කරයි.
එහි ප්‍රධානියා පවසන්නේ රාජ්‍ය නායකයන් ජනතාව හමුවේ සිදුකළ අවිධිමත් හා අනවබෝධය පතුරන ප්‍රකාශ හේතුවෙන් කොවිඩ් පාලනය සම්බන්ධයෙන් ජනතාව තුළ පැහැදිලි ආකල්පයක් ගොඩනැංවීමට අසීරු වී ඇති බවය. කොවිඩ් පාලනය සඳහා රජයන් ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගන්නේ නම් ඉදිරියේදී ගෝලීය කොවිඩ් වසංගත තත්ත්වය තව තවත් බැරෑරුම් වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය ගෝලීය ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය පිළිබඳ සිය නවතම වාර්තාව එළි දක්වමින් සඳහන් කර ඇත්තේ පවතින තත්ත්වය යටතේ 2030 වසරේදී ගෝලීය දරිද්‍රතාව තුරන් කිරීමේ ඉලක්ක සපුරාගැනීම තවදුරටත් සිහිනයක් වනු ඇති බවය.
► සංස්කරණය : සුගත් පී. කුලතුංගආරච්චි