දකුණු කොරියාවේ අගනගරය වන සියොල් නුවර නගරාධිපතිවරයා අතුරුදන් වී පැය 7කට පසු ඔහුගේ සිරුර හමුවී ඇත. නගරාධිපති පාර්ක් වොන්-සූන් 2022 පැවැත්වීමට නියමිත වූ ජනාධිපතිවරණයේදී ලිබරල් පක්ෂය විසින් මහත් බලාපොරොත්තු තබා සිටි අපේක්ෂකයාය.
අගනගරයෙන් උතුරැකරයේ වූ කුඩා කඳුකර ප්‍රදේශයකදී පාර්ක් වොන්-සූන්ගේ සිරුර හමුව තිබුණි. කළු කැප් එකක් පැළඳ පිටේ එල්ලා යන බෑගයක් සහිතව බ්‍රහස්පතින්දා උදෑසන සිය නිල නිවසින් නගරාධිපතිවරයා එළියට බැස ඇත්තේ සිය අන්තිම කැමැත්ත ලෙස හැඟෙන හඬ පණිවුඩයක් යවමිනි. එදින ඔහුගේ සියලු වැඩ කටයුතු, රාජකාරි හමුවීම් ආදිය ද අවලංගු කර තිබුණි. පසුව ඔහුගේ ජංගම දුරකතනය ද ක්‍රියා විරහිතව ඇත. මේ දුරකතනයේ සංඥා අනුව ඩ්‍රෝන යාත්‍රා ද බල්ලන් ද යොදා ගනිමින් මහා හඹා යාමක් ඇරැඹෙන්නේ ඔහුගේ දියණිය සිය පියා අතුරුදන් බවට කළ පැමිණිල්ලක් අනුවය. ඒ ඔහු සැක සහිත ලෙස පිටත්ව ගොස් පැය 7කට පසුවය.
මෙලෙස අබිරහස් මරණයකට මුහුණ පෑ, හැට හතර හැවිරිදි පාර්ක් වොන්-සූන් 2011 සිට අගනුවර නගරාධිපතිවරයාය. දුසමාන ආරංචි අනුව නගරාධිපතිවරයාට එරෙහිව ලිංගික බලපෑම් ගැන පැමිණිල්ලක් ඔහුගේ ලේකම්වරිය විසින් පොලීසියට ඉදිරිපත් කරනු ලැබ ඇත.