2020 ජුලි 04 වන සෙනසුරාදා

උතුරු කොරියාවට ඝෝර රැජනක්!

 2020 ජුලි 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 242

උතුරු කොරියානු නායකයා ගැන අසුබ ආරංචි පැතිර යන්නේ කාලාන්තරයක සිටය. ඔහු අසනීපයෙන් සිටිනා බවට මෑතකදීද විශාල ආන්දෝලනයක් ඇති විය. අබිරහස් දේශයක් හැටියට ප්‍රසිද්ධ එරට නායකයා කිම් ජොං අන් සිය බලය රැකගැනීම සඳහා තමන්ගේ සහෝදරයාවද ඝාතනය කෙරවූ බවට චෝදනා ලද තැනැත්තෙකි. යම් හෙයකින් ඔහු ගැන පැතිරයන අසුබ ආරංචි සත්‍ය වුවහොත් ඔහුගේ මුල්පුටුව හිමිවන්නට නියමිතව ඇත්තේ ඔහුගේම සොහොයුරියටය. ඇය පිළිබඳ පැතිර ඇති කතාබහට අනුව නම් ඇය සිය සොහොයුරාට නොදෙවෙනි ඝෝර නායිකාවක් බවයි. ඇය බලයට පත් වුවහොත් ඒ උතුරු දකුණු දෙරටේ සාමයේ අවසානයද වනු ඇතැයි මත පළවෙයි.

1987 වසරේ උපත ලද ඇය සිය සහෝදරයා වන කිම් ජොන්ග් අන්ට වඩා අවුරුදු හතරකින් බාලය. එකම කාලයක දෙදෙනාම ස්විට්සර්ලන්තයේ වෙසෙමින් අධ්‍යාපනය ලබා ඇත. ස්විට්සර්ලන්ත පාසල් බලධාරීහු පවසන පරිදි කිම් පවුලේ මිත්‍ර ආරක්ෂකයන් සහ භාරකරුවන් ඇයට අධි ආරක්ෂාවක් ලබාදී ඇත. වරෙක ඇයට සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවක් වැළඳුණු අවස්ථාවේ වහාම පාසලින් ඉවතට රැගෙන ගොස් රෝහල්ගත කෙරුණු බව වාර්තා වේ. දැඩි රැකවල් මැද හැදී වැඩුණු ඇය සමග කිම් පවුලේ වැඩිදෙනෙකු එතරම් සබඳතා පවත්වා නොමැති බව වාර්තාවල සඳහන් වේ. ඇය ගුප්ත චරිතයකි.

කිම් ජොන්ග් අන්ගේ සෞඛ්‍ය පිරිහීමත් සමඟ ආරම්භ වූ අනුප්‍රාප්තිකයෙකු ලෙස ඇය නායකත්වය සඳහා සූදානම් කිරීම පිළිබඳ සැලසුම, 2008 තරම් ඈත කාලයක් දක්වා දිව  යයි. කිම් යෝ-ජොන්ග් පළමුවරට ජාත්‍යන්තර අවධානය දිනාගත්තේ 2018 වසරේදීය. ඒ අසල්වැසි දකුණු කොරියාවට පා තැබූ කිම් පරම්පරාවේ පළමු සාමාජිකයා බවට පත්වීමත් සමගය. ඇය, උතුරු කොරියාව සහ දකුණු කොරියාව එක්ව තරග කළ ශීත ඔලිම්පික් උළෙලට සහභාගි වූ නියෝජිතයන් අතරටද එක් විය.

ඉන් අනතුරුව ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික මාවතක් ප්‍රදර්ශනය කළ සිය සොහොයුරා සමග කිම් යෝ-ජොන්ග් එක්ව සිට කටයුතු කරනු දක්නට ලැබිණි. දකුණු කොරියාවේ ජනාධිපති මූන් ජේ-ඉන්, චීන ජනාධිපති ෂී ජින් පින් සහ වඩාත්ම වැදගත් ලෙස ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමු වූ අවස්ථාවල ඇය සිය සොහොයුරා සමග විය. මෑත කාලයේ දකුණු කොරියාවට එරෙහිව දැඩි වචන සහිත පණිවුඩ ගණනාවක් ප්‍රකාශයට පත්කළ ඇය දැනටමත් කොරියානු රටවල් දෙකේ සබඳතා පිළිබඳ උතුරු කොරියාවේ ප්‍රධාන වගකීම් දරන්නා බවට පත්ව ඇත. මේ නිසාම ඇය ලෝක සාමය පිළිබඳ දැඩි වගකීමක් දරන තැනැත්තිය බවටද පත්ව හමාරය.

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:05