2020 ජුලි 04 වන සෙනසුරාදා

ඉන්දු-චීන ගැටුමට මැදිවූ TikTok රසිකයෝ!

 2020 ජුලි 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 49

චීනය සහ ඉන්දියාව අතර මතුව ඇති දේශසීමා අර්බුදය උත්සන්න වන පසුබිමක් දක්නට ලැබේ. දැන් එහි අලුත්ම තත්ත්වය ප්‍රකාශයට පත්ව ඇත්තේ රටේ සාමාන්‍ය ජනයා අතර බෙහෙවින් ජනප්‍රිය TikTok සහ WeChat ඇතුළු චීනයට සබඳතා ඇති apps 59ක්, ඉන්දියාව විසින් තහනම් කිරීමත් සමඟය. 

ඉන්දියාව මෙම තීරණය ගැනීම විශේෂත්වයකි. ටික් ටොක් ඇප් එකෙහි විශාලතම විදේශිය වෙළෙඳපොළ ඉන්දියාව වන අතර ඉන්දියාවේ සිටින TikTok භාවිත කරන්නන් සංඛ්‍යාව මිලියන 120කි. මෙම ඇප් භාවිත කරන්නන්ගේ දත්ත අනවසරයෙන් සොරා ගැනෙන බවට පැමිණිලි ගණනාවක් ලැබීමෙන් පසු ඒවා තහනම් කළ බව ඉන්දීය අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය කියයි. ඒ ගැන ප්‍රකාශයක් නිකුත් කරමින් ඉන්දීය රජය සඳහන් කළේ, මෙම ඇප් තම රටේ ස්වාධිපත්‍යය, භෞමික අඛණ්ඩතාවය, ආරක්ෂාව සහ සාමයට තර්ජනයක් බැවින් මෙම පියවර ගත් බවයි. TikTok අඩවියේ මව් සමාගම ‘ByteDance’ ව්‍යාපාරයයි. එහි මූලස්ථානය චීනයේ ‘බේජිං’ නගරයේ පිහිටා ඇත. ‘TikTok’ මෘදුකාංගය භාවිත කරනු ලැබීම ලොව පුරා පැතිරයාමට පෙර එය චීනයේ ජනප්‍රියව පැවතිණි.

එම ජනප්‍රියභාවයත් සමඟ එය චීන ආණ්ඩුවට සම්බන්ධ අතර එමගින් සිය ගනුදෙනුකරුවන්ගේ තොරතුරු චීනයට සපයන බවට චෝදනා එල්ල වන්නට විය. එවැනි විවේචන එල්ලකරන ලද්දන් අතරින් ඇමෙරිකා එක්සත් ජනපදය මුල්තැන ගත්තේය. ඇතැම් ඇමෙරිකානු සෙනෙට් සභිකයන් පවා ඔවුන් අතර වූහ. ඉන්දියාව විසින් ටික්ටොක් තහනම් කරනු ලැබීමත් සමඟ එය භාවිත කරමින් සිටි කෝටි සංඛ්‍යාත ඉන්දියානු ජනකායකට දැන් දැඩි බලපෑමක් එල්ල වී ඇත.