2020 ජුනි 27 වන සෙනසුරාදා

අයිෆල් කුළුණ මාස තුනකට පසු යළි විවෘතවෙයි!

 2020 ජුනි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 141

කොවිඩ් - 19 වසංගත තත්ත්වය හේතුවෙන් වැඩිම බලපෑමක් ඇතිවූයේ සංචාරක ක්ෂේත්‍රය තුළය. දැන් දැන් බොහෝ රටවල් අවදානම අවම කරගනිමින්ම නැවත සිය ආර්ථිකය ගොඩගැනීම සඳහා සංචරණයට ඉඩ සැලසීමට පියවර ගෙන හමාරය. ඒ අනුව ප්‍රංශයේ පැරිස් නුවර ලෝක ප්‍රසිද්ධ අයිෆල් කුළුණ ද සංචාරකයන් සඳහා යළි විවෘත කර තිබේ.

මාස තුනකට අධික කාලයක් අයිෆල් කුළුණ සංචාරකයන් සඳහා වසා දැමීමට පියවර ගෙන තිබුණි. දැන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් අයිෆල් කුළුණ සංචාරකයන් සඳහා යළි විවෘත කිරීමට බලධාරින් පියවර ගෙන ඇත. 1889 වසරේ සිට වාර්ෂිකව මිලියන 07ක පමණ සංචාරකයන් පිරිසක් අයිෆල් කුළුණ නැරඹීමට පැමිණි අතර ඉන් බහුතරය විදේශිකයන්ය.

ප්‍රංශ විප්ලවයට වසර 100ක් පිරීම හේතුවෙන් 1889 දී ප්‍රංශය “World’s Fair” නම් ප්‍රදර්ශනයක් සංවිධානය කළේය. ප්‍රදර්ශනයට සමගාමීව ලොව උසම ගොඩනැගිල්ල ඉදිකිරීමට ප්‍රංශ රජයට අවශ්‍ය විය. මෙහි ඇතුළු වීමේ දොරටුව ලෙස මෙම කුළුණ යොදා ගැනීමට තීරණය වුණා. පෘතුගාලයේ ඩෝරා නම් ගංඟාව හරහා අඩි 350ක් දිග පාලමක්ද, අමෙරිකාවේ ලිබර්ටි ප්‍රතිමාව සඳහා විධිමත් සැකිල්ලක් ද ඉදි කරන ලද, ඒ හේතුවෙන් මේ කාලය වනවිට ලොව පුරා ප්‍රසිද්ධියක් ලැබූ ශිල්පියෙක් වූ ඇලෙක්සැන්ඩර් ජී. අයිෆල් නම් ප්‍රංශ ජාතික නිර්මාණ ශිල්පියා මෙය තැනූ තැනැත්තායි. 1930 දී අමෙරිකාවේ නිව් යෝක්හි Chrysler Building ඉදිකරන තෙක් එනම් වසර 41ක් පුරා ලෝකයේ උසම ගොඩනැගිල්ල ලෙස සැලකුණේ අයිෆල් කුළුණයි.

පළමුව අයිෆල් කුළුණ සැලසුම් කරනවිට වසර 20කට පසු එනම් 1909 දී එය ගලවා ඉවත් කිරීමට නියමිතව තිබුණා. එහෙත් ක්‍රමක්‍රමයෙන් මෙය සංචාරක ආකර්ෂණය දිනා ගැනීමත් සමඟ ප්‍රංශයේ ජාතික සංකේතයක් බවට පත් වී අද වනවිටත් 500කට අධික සේවක පිරිසක් දිනපතා කුළුණේ සේවය සඳහා යොදවා තිබේ.