2020 ජුනි 19 වන සිකුරාදා

කොරියානු සීමාවෙත් නැවත යුද දුම් වළා නගී!

 2020 ජුනි 19 වන සිකුරාදා, පෙ.ව. 06:00 82

කොරෝනා වෛරස් වසංගතය පැතිර යාමත් සමඟ වසා දමන ලද කොරියානු රටවල් අතර පිහිටි පණිවුඩ හුවමාරු කාර්යාලය පුපුරැවා හැරීමට කිම් ජොන්ග් අන් කටයුතු කළේය. එම සම්බන්ධතා කාර්යාලය පසුගිය ජනවාරි මාසයේ සිට හිස්ව පැවතිණි.   පණිවුඩ හුවමාරු කාර්යාලය උත්සවාකාරයෙන් විවෘත කරනු ලැබුවේ 2018 වසරේ සැප්තැම්බර් මසදීය. එම සම්බන්ධතා කාර්යාලය පිහිටුවා තිබුණු භූමිභාගය උතුරැ කොරියාවට අයත් වන අතර, එය දෙරට අතර පණිවුඩ හුවමාරැව සඳහා උපයෝගී කර ගනු ලැබිණි.

එම කාර්යාලය පිහිටුවා තිබුණේ දෙරට අතර පිහිටි ‘කෙසොන්ග්’ (Kaesong) දේශසීමා නගරය අසලය. කොරියානු දේශසීමාවේ යුද ක්‍රියාකාරකම් පිළිබඳව යළිත් අනතුරැ ඇඟවීමක් කරනු ලැබීමෙන් පසුව එම පුපුරැවා හැරීම සිදුකොට ඇත. කෙසොන්ග් කාර්මික සංකීර්ණය දෙසින් දුම්වලා නිකුත්වෙන ආකාරය දකුණු කොරියාව නිකුත් කළ සේයාරූ තහවුරු කර ඇත.

උතුරු - දකුණු කොරියානු රාජ්‍යයන් දෙක අතර පසුගිය සති කිහිපය තිස්සේ පැවතුණේ ගැටුම්කාරී පරිසරයකි. උතුරු කොරියාවේ සිට දකුණු කොරියාවට පලාවිත් සිටින කණ්ඩායම් විසින් දේශසීමාව ඔස්සේ යවනු ලබන ප්‍රචාරක පණිවුඩ එම ගැටුම්කාරී තත්ත්වය ප්‍රකෝප කිරීමට හේතු විය. උතුරු කොරියාවෙන් පලාවිත් සිටින කණ්ඩායම් සිය පැරණි වාසභූමිය කරා ප්‍රචාරක පණිවුඩ නිරන්තරයෙන් යවනු ලබන්නේ බැලූන් පමණක් නොව, ඩ්‍රෝන යානා (drones) ආදිය පවා උපයෝගී කර ගනිමිනි.

සිය භූමියට ප්‍රචාරක පණිවුඩ එවීමට ඉඩ සලසන බවට චෝදනා කරමින් පසුගිය සති කිහිපය තුළ උතුරැ කොරියාව විසින් ‘සෝල්’ පාලනය හෙළා දකිනු ලැබිණි. පසුව ප්‍රකාශයක් කළ උතුරු කොරියානු පාලනය ‘සෝල්’ පාලනයත් සමඟ සියලු නිල සබඳතා කපා හරින බව නිවේදනය කළේය. කොරියානු රාජ්‍යයන් දෙක අතර පිහිටුවා තිබුණු දෙරටේ සම්බන්ධතා කාර්යාලය උතුරු කොරියානු පාලනය විසින් පුපුරැවා හරින ලද්දේ ඉන් අනතුරුවය.

උතුරැ කොරියානු පාලනය ‘සෝල්’ පාලනයත් සමඟ සියලු නිල සබඳතා කපා හරින බව නිවේදනය කළ උතුරැ කොරියානු නායකයාගේ සහෝදරිය කිම් යෝ-ජොන්ග් කොරියානු රාජ්‍යයන් දෙක අතර පිහිටි යුද විරහිත කලාපයට (DMZ) හමුදා ඇතුළු කරන බව කියා සිටියාය.

පසුව ඉහත කී සම්බන්ධතා කාර්යාලය පුපුරැවා හරිනු ලැබීමට පෙර උතුරු කොරියානු යුද හමුදා නායකත්වය ප්‍රකාශයක් කරමින්, “ඉදිරි යුද පෙරමුණ යුද බලකොටුවක් බවට පරිවර්තනය කරන” බව සපථ කර තිබිණි. දැන් ඒ අනුව කොරියානු රාජ්‍ය අතර යුද උණුසුම නැවත ඉහළ ගියේය.