2020 ජුනි 20 වන සෙනසුරාදා

ඉන්දු - චීන මායිම නැවතත් රත්වෙයි!

 2020 ජුනි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 201

වසර 45කට පසු චීන – ඉන්දියා හිමාල දේශසීමාව ආශ්‍රිතව අළු යට ගිනි පුපුරු මෙන් සැඟවී තිබූ විරෝධය පසුගිය සතියේ තදින්ම ඇවිළී ගියේය. චීන – ඉන්දියා දේශසීමාවේ ලඩක්හිදී සිදු වූ මේ ගැටුමෙන් ඉන්දීය සෙබළුන් 20 ක් ජීවිතක්ෂයට පත්ව ඇත. එලෙස මියගිය අය අතරට ඉන්දීය හමුදාවේ කර්නල්වරයකු ද අයත්ය. තවත් සෙබළුන් 17 දෙනෙක් බරපතළ තුවාල ලැබූහ. ගැටුමෙන් මරණයට පත් වූ හෝ බරපතළ තුවාල ලැබූ චීන සෙබළුන් සංඛ්‍යාව 43 කි.

චීනය ලඩක්හි ගාල්වාන් නිම්නය වෙත සෙබළුන් දහස් ගණනක් යවා ඇති අතර ඔවුන් වර්ග කිලෝමීටර් 38,000ක භූමි ප්‍රදේශයක ස්ථානගත කර ඇති බව ඉන්දියාව කියයි. මෙම ගැටලුව සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර සාකච්ඡා පැවැති අතර එහිදී චීන සෙබළුන් එම සීමාවෙන් ඉවත් කර ගැනීමට ඔවුන් එකඟ වී තිබුණි. දෙපාර්ශ්වය අතර යළි ගැටුම් ඇති වූයේ එලෙස චීන හමුදා එම ගාල්වාන් නිම්නයෙන් ඉවත් වීමට එකඟ වී තිබියදීය. චීනය චෝදනා කළේ, ඉන්දියාව දේශසීමා උල්ලංඝණය කරමින් සිය සෙබළුන්ට පහරදුන් බවටය. සිය සෙබළුන් මියගියේ වෙඩි වැදීමෙන් නොව ගල් සහ බැටන් ප්‍රහාර එල්ලවීමෙන් බව ඉන්දියාව ප්‍රකාශ කළේය.

ඉන්දියාවට සාමය අවශ්‍ය බවත්, නමුත් ප්‍රකෝප කළහොත් සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බවත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද අවධාරණය කළේය. ඉන්දීය හමුදාව සඳහන් කළේ, සිය භෞමික අඛණ්ඩතාවය සහ ස්වෛරීභාවය සුරැකීමට කැපවන බවය. චීනය කියා සිටියේ ඉන්දියාව සමඟ ගැටුම් ඇතිකර ගැනීමට අවශ්‍ය නැති නමුත් තමන් එවැනි දෙයකට වුවත් බිය නොවන බවයි. සිය සංයමය, දුර්වලතාව ලෙස වරදවා වටහා නොගන්නැයි ද චීනය ඉන්දියාවට අනතුරැ අඟවා සිටී. මේ අතර චීන හමුදා ප්‍රහාර හමුවේ ඉන්දීය හමුදා සෙබළුන් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් සර්වපාක්ෂික රුස්වීමක් කැඳවා තිබේ. එම සර්වපාක්ෂික රුස්වීම වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන අතර ඊට සියලු දේශපාලන පක්ෂවල සභාපතිවරැන් සහභාගී වීමට නියමිතය.

දෙරට අතර පවතින මෙම දේශසීමා අර්බුද ඉකුත් දශක 3ක කාලය තුළ සිදු කෙරැණු දීර්ඝ සාම සාකච්ඡාවලින් ද විසඳිය නොහැකිව තිබේ. දැන් එම මතභේදය මාරාන්තික ගැටුමක් දක්වා උත්සන්න වී හමාරය.

ජනශූන්‍ය පෙදෙස් වලින් ගහණ මෙම කඳුකර කලාපයට දශක කිහිපයක් තිස්සේ රටවල් දෙකම අයිතිවාසිකම් කියයි. රටවල් දෙකම මෙම කලාපය දෙස බලන්නේ ආර්ථිකමය මෙන්ම යුදමය වශයෙන් ඉතා වැදගත් ස්ථානයක් ලෙසිනි. එක් පාර්ශ්වයක් විසින් හෝ එම ප්‍රදේශය අවහිර කරනු ලැබුවහොත් මුළුමහත් කලාපයටම අස්ථාවර තත්ත්වයක් උදාවීමේ ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවේ.

කිලෝමීටර 3440 ක් දුර විහිදෙන මෙම දේශසීමා කලාපය තුළ චීන හමුදාව මෙන්ම ඉන්දීය හමුදාව ද ස්ථානගත කර සිටිති. අවස්ථා කිහිපයකදීම මෙම හමුදා සොල්දාදුවෝ මුහුණට මුහුණලා සටනට සැරසුණහ. මෙම මතභේද පසුගිය මාස කිහිපය තුළ උත්සන්න වූයේ දේශසීමා කලාපය ඔස්සේ මාර්ගයක් ඉදිවීමෙන් අනතුරුවය. මෙම මාර්ගය ඉදිකරන ලද්දේ ඉන්දියාව විසිනි. අනතුරැව තමන්ගේ බල ප්‍රදේශය තුළ ද යටිතල පහසුකම් දියුණු කරමින් චීනය ඉදිකිරීම් ආරම්භ කළේය. එමගින් දෙරටේ හමුදා ඉතා සමීපව ස්ථානගත වුණු අතර කොයි මොහොතේ හෝ දෙපාර්ශ්වය අතර ගැටුම් ඇතිවීමේ අවදානම ද ඉහළ ගියේය.

ඒ අතර ඉන්දීය භට කණ්ඩායම් දේශසීමාව පසුකර දෙවරක් පැමිණ චීන සොල්දාදුවන් කුපිත කළ බවටත් තම සේවක පිරිසට පහර දුන් බවටත් චීනය චෝදනා කරයි. කෙසේ නමුත් කිසිදු වෙඩි තැබීමක් සිදු නොවුණු බවට දෙපාර්ශ්වයම අවධාරණය කර තිබේ. ඉන්දියාව සහ චීනය මෙවන් යුද ගැටුමකට අවතීර්ණ වූයේ එක් වතාවක් පමණි. ඒ 1962 දීය. එහිදී ඉන්දියාවට අන්ත පරාජයක් හිමි විය. දෙරට අතර සීමා සංහිඳියාව සඳහා ගත් මෙවැනි උත්සාහයන් අතීතයේදී ද ඇනහිට ඇත.

මෙවර ද සාම උත්සාහයන් සාර්ථක නොවුණහොත්, ලෝකයේ වැඩිම ජනගහනයක් සහිත රටවල් දෙක අතර ගැටුම් උත්සන්න වීමේ අවදානම ඉහළය. මේ බලවතුන් දෙදෙනාටම න්‍යෂ්ටික අවි බලය හිමි බව ද අමතක නොකළ යුතුය. එය සෙසු ලෝකයට ද මහත් තර්ජනයකි. මේ අතර දේශසීමා ගැටුම හේතුවෙන් ඉන්දියාව සහ චීනය අතර හටගෙන ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් සමීපව අධීක්ෂණය කරමින් සිටින බව අමෙරිකාව ප‍්‍රකාශ කර තිබේ. ඉන්දියාව සහ චීනය අතර වර්තමානයේ පවතින අර්බුදය සාමකාමීව සමථයකට පත්කර ගැනීම සඳහා විසඳුම් ලබා දීමට අමෙරිකාව සහාය ලබා දෙන බව එරට රාජ්‍ය දෙපාර්තමේන්තු ප‍්‍රකාශකයෙක් කීය.