2020 මැයි 30 වන සෙනසුරාදා

හොංකොං දූවේ චීන විරෝධයට ගම්මිරිස් !

 2020 මැයි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 122

චීනය යටතේ පාලනය වන හොංකො රාජ්‍යය තුළ පසුගිය වසරේ සිට වරින්වර උද්ඝෝෂණ විශාල වශයෙන් සිදුවෙමින් පැවතිනි. චීනයේ බොහෝ නීතිරීති හොංකොං රාජ්‍යයටත් ක්‍රියාත්මක කිරීමට චීන රජය පියවර ගැනීමෙන් එම තත්ත්වය උද්ගත විය. අලුත්ම කැරැල්ල එරට තුළ පැන නැංගේ චීන ජාතික ගීයට අපහාස කිරීම සාපරාධි ක්‍රියාවක් බවට පනතක් සම්මත කිරීමට චීන රජය පියවර ගැනීමට එරෙහිවය.

කොරෝනා වසංගතය මැද විරෝධතාවකට යොමුවී සිටින හොංකොං වැසියන්ට පොලීසිය විසින් පසුගියදා ගම්මිරිස් ප්‍රහාරයක්ද එල්ල කරනු ලැබිණි. 

ජාතික ගීය සම්බන්ධ පනත එරට පාර්ලිමේන්තුවේ දෙවැනි වර විවාදයට ගැනීම එදා සිදුවූ අතර ඊට එරෙහිව වීදි බැස උද්ඝෝණයට එක්වූ දහස් සංඛ්‍යාවක් වූ හොංකොං වැසියන්ට මේ ගම්මිරිස් ප්‍රහාරයට මුහුණ දීමට සිදුවිය.
චීන ජාතික ගීයට පරිභව කිරීම අපරාධ නීතිය යටතේ අත්අඩංගුවට ගත හැකි බවට මේ පනත සම්මත කරගැනීමට කටයුතු යොදා ඇති අතර ඒ අනුව චීන ජාතික ගීයට අපහාස කිරීමේ වරදට හසුවන පුද්ගලයන්ට හොංකොං ඩොලර් පනස්දහසක දඩයක් හෝ වසර තුනක සිර දඬුවමක් පැනවිය හැකි බව කියැවේ.

හොංකොං රාජ්‍යයට ස්වකීය ජාතික ගීයක් නොමැත. මෙතෙක් එරට බොහෝ අවස්ථාවන්හීදි වාදනය වූයේ චීන ජාතික ගීයයි. එහෙත් පසුගිය වසරේ සිට දෙපාර්ශ්වය අතර ගැටුම් ආරම්භ වීමෙන් පසුව චීන ජාතික ගීය වාදනය වූ අවස්ථාවලදී හොංකොං වැසියන් ඊට හූ හඬ නගමින් එය ප්‍රතික්ෂේප කිරීම සිදුවිය.

කොවිඩ් වසංගතයේ ව්‍යාප්තියෙන් පසුව හොංකොං රාජ්‍යයට හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට චීනය කටයුතු කිරීමත් සමග හොංකොං නුවර නැවත උණුසුම් වූ අතර ජාතික ගීය සම්බන්ධ පනත හේතුවෙන් එහි තත්ත්වය තවත් දරුණු අතට හැරිණි. කැරලි මර්දන පොලීසිය විසින් විරෝධතාකරුවන් සියයකට අධික පිරිසක් එදින අත්අඩංගුවට ගෙන තිබේ.

වසර 150කට අධික කාලයක් බ්‍රිතාන්‍ය කොලනියක් බවට පත්වී තිබූ හොංකොං රාජ්‍යය 1997දී චීනයට පවරා දෙනු ලැබූ අතර ඉංග්‍රිසි සම්ප්‍රදායට අනුව හැඩ ගැසී සිටි හොංකොං වැසියන්ට සමාජවාදී චීන සම්ප්‍රදායට මාරුවීමේදී පැණ නැගුණ සංකීර්ණ ගැටලු සහගත තත්ත්වය හමුවේ දෙපාර්ශ්වය අතර වරින්වර ගැටුම් පැන නැගුණි.

 

► සංස්කරණය: 
සුගත් පී. කුලතුංගආරච්චි