2020 මැයි 30 වන සෙනසුරාදා

කොරෝනා මදිවාට පළඟැටි ආක්‍රමණයක්!

 2020 මැයි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 88

බටහිර ඉන්දියාවේ හෙක්ටයාර් 50,000 කට වැඩි ප්‍රදේශයක බෝග මේ වනවිට විනාශ  වී හමාරය. කොරේ පිටට මරේ කීවාක් මෙන් කොරෝනා වෛරස් වසංගතය මධ්‍යයේ ඉන්දියාවේ විශාල ප්‍රදේශයක පැතිරගිය පළඟැටි වසංගතයක් හේතූවෙනි. මේ හේතුවෙන් රාජස්ථාන්, මධ්‍ය ප්‍රදේශ් සහ ගුජරාට් යන ප්‍රාන්ත වඩාත් පීඩාවට පත්ව තිබේ. පාකිස්තානයේ විශාල ප්‍රදේශයක්ද පළඟැටියන් විසින් මේ වනවිට ආක්‍රමණය කර වනසා හමාරය.

මෙම කෘමීන් විශාල රංචු වශයෙන් වළාකුලු මෙන් ගම්මානවලට කඩාවැදී සපාකෑ හැකි සියල්ල වනසා දමති. ගොවිබිම් පාලූකර දමති. පාකිස්තානයට මේ කෘමීන් ආවේ වසර මුලදීය. පාකිස්තානයේ බලධාරීන් පෙබරවාරි මාසයේදී මෙම පළඟැටියන් හේතුවෙන් රටපුරා හදිසි අවස්ථාවක් පවා ප්‍රකාශයට පත්කරමින් කියා සිටියේ මෙම උවදුර වසංගතයක් ලෙසින් දරුණු ලෙස පැතිර යන බවය. දැන් මේ රටවල ගොවි ජනතාව  කාලයකට පසු ආ දරුණුතම පළඟැටි වසංගතයට එරෙහිව සටන් වැද සිටිති...