2020 මැයි 23 වන සෙනසුරාදා

ලොවපුරා ලක්ෂ 600ක් අන්ත දිළිඳුභාවයට!

 2020 මැයි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 35

කොරෝනා වෛරසය හේතුවෙන් ලොවපුරා මිනිසුන් මිලියන 60ක් පමණ අන්ත දිළිඳුභාවයට පත්විය හැකි බවට ලෝක බැංකුවේ සභාපතිවරයා අනතුරු අඟවයි. මෙම වසංගතය සමඟ කටයුතු කිරීමට සිදුවීම නිසා ගෝලීය අර්ථීක වර්ධනය මෙම වසර තුළදී 5කින් හැකිලෙනු ඇති බවට ලෝක බැංකුව අපේක්ෂා කරන බවද සහාපති ඩේවිඩ් මැල්පාස් පැවසීය.

කොරෝනා වෛරස් වසංගතය නිසා දැනටමත් මිලියන ගණනකගේ රැකියා අහිමි වී ඇති අතර ව්‍යාපාර බිඳ වැටී තිබේ. ඉන් වැඩි පීඩනයකට ලක් වී ඇත්තේ දිළිඳු රටවල්ය. එමගින් පසුගිය තුන් වසර තුළ දිළිඳු බව තුරන් කිරීම වෙනුවෙන් ලැබූ ප්‍රගතිය සම්පූර්ණයෙන්ම මැකී යන බව ලෝක බැංකු සභාපතිවරයා ප්‍රකාශ කළේය. 

ලෝක බැංකුව විසින් අන්ත දිළිඳුභාවය ලෙස අර්ථ දක්වන්නේ පුද්ගලයෙකුට දිනකට ඩොලර් 1.90ට වඩා අඩු ආදායමකින් ජීවත් වීමට සිදුවීමය. කොරෝනා වෛරසය හේතුවෙන් මතු වී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා දිළිඳු රටවලට සහාය වීමට ඩොලර් බිලියන 160ක මුදලක් ලෝක බැංකුව වෙන් කර තිබේ. මෙය ආධාර දීමනා වශයෙන් සහ අඩු පොලී ණය වශයෙන් එම රටවලට ලබාදීමට නියමිතය.