2020 මැයි 02 වන සෙනසුරාදා

මියගිය රොකට් මෑන් ලියුමක් ලියයි!

 2020 මැයි 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 148

උතුරු කොරියාව පසුගිය සති කිහිපය තුළ කොරෝනා ජරමර අස්සේත් ලෝකයේ වැඩිම අවධානය දිනා ගත්තේය. ලෝකයම කොරෝනාවට ගොදුරු වුවත් එරටට වෛරසය කාන්දු නොවූ පුදුමය එයට  එක හේතුවකි. දෙවැනි මහා පුදුමය අමෙරිකාවේ ට්‍රම්ප් රොකට් මෑන් ලෙස කුලවැද්දූ  එරට හිතුවක්කාර තරුණ නායකයා සැත්තමකින් පසු මියගිය බවට පැතිර ගිය  පුවතයි.

කිම් ජොං උන් බරපතළ ලෙස අසනීපව සිටින බවට වන පුවතට තටු ලැබීමට තවත් හේතුවක් වූයේ උතුරු කොරියාවේ නිර්මාතෘ සහ කිම්ගේ සීයා වන කිම් ඉල් සුංගේ උපන්දිනය (එය ජාතික නිවාඩු දිනයකි) වන අප්‍රේල් 15 වැනි දින රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය විසින් බෙදාගන්නා ලද ඡායාරෑපවල කිම් උන්ගේ කිසිදු ලකුණක් නොවීමයි. ඊට පෙර පසුගිය 12 වැනිදා ඔහු ශල්‍යකර්මයකට මුහුණදුන් බව වාර්තා වීමත් යන කාරණා සැකය තදින්ම මතුකරන්නට හේතු විය.

කෙසේ වුවද ලෝකයම මිය යන්නට ඇතැයි සැක පහළ කළ කිම් ජොං උන් පසුගිය බදාදා සිය දකුණූ අප්‍රිකානු රාජ්‍ය නායකයා වෙත සුබපතා ලිපියක් එවා තිබුණි. එරට ජාතික දින උළෙල නිමිත්තෙන් රටවල් දෙක අතර දිගුකාලීන මිතුරුකම ගැනද සඳහන් කරමින් ඔහු සුබපැතුම් එවා තිබුණි. මියගියා යැයි ලෝකයම සලිතව බලා සිටියදී කිම් ජොං උන් එවූ මේ ලිපියටද මහා ප්‍රසිද්ධියක් ලැබිණි. එහෙත් තවමත් සමහරු මේ ලිපියද එරට බුද්ධි අංශය කිම්ගේ “බරපතළ අසනීපය” හෝ මරණය වසං කිරීමට ගැසූ දහංගැටයක් ලෙස පිළිගනිති. මේ අතර උතුරු කොරියාවේ පසමිතුරා වන දකුණු කොරියානු රජයේ ආරංචි මාර්ග රොයිටර් පුවත් සේවයට පැවසුවේ කිම් බරපතල අනතුරකට ( grave danger) ලක්ව ඇති බවට වාර්තා සත්‍ය නොවන බවයි. දකුණු කොරියානු ජනාධිපති මන්දිරය කියා සිටියේ උතුරෙන් අසාමාන්‍ය සලකුණු නොමැති බවයි.

චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ජෙන් ෂුවාං දෛනික සාකච්ඡාවකදී කියා සිටියේ කිම්ගේ සෞඛ්‍යය පිළිබඳ වාර්තා තමන් දන්නා නමුත් එහි මූලාශ්‍ර ගැන කිසිවක් නොදන්නා බවයි. යම් ආකාරයකින් කිම් මියගියහොත් ඔහුගේ සොහොයුරිය බලයට පත්වනු ඇතැයි විශ්වාස කෙරේ.